සිංහල මාධ්‍යවේදියා වෙනුවෙන් දෙමළ, මුස්ලිම් සගයෝ නැගී සිටිති

අගනගරයේ පිහිටි අධිකරණ පරිශ්‍රයයක් තුලදී සිංහල මාධ්‍යවේදියකුට හිරිහැර කළ ඉහල පොලිස් නිලධාරියා හෙළා දකිමින් ඔහු වහාම අත් අඩංගුවට ගන්නා ලෙස බලකරමින් නැගෙනහිර පළාතේ දෙමළ හා මුස්ලිම් මාධ්‍යවේදීන් විරෝධතාවක් පවත්වා තිබේ.

මඩකලපුව මහත්මා ගාන්ධි උද්‍යානය ඉදිරිපිට දී ජුලි 11 සෙනසුරාදා දියත් කළ විරෝධතාවය සදහා නැගෙනහිර පළාත් දෙමළ මාධ්‍යවේදී සංගමය සහ මඩකලපුව දිස්ත්‍රික් මාධ්‍යවේදීන් එක්ව සිටි බව වාර්තාකරුවෝ පවසති.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ කලක් සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ දී ජුලි 10 වනදා මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධනට අමානුෂික ආකාරයෙන් සැලකීම පිළිබදව විරෝධය පාමින් ඔවුන් අවධාරණය කර ඇත්තේ මාධ්‍යවේදීන්ගේ අයිතිය උදුරා නොගන්නා ලෙසයි.

ඡායාරූප මාධ්‍යවේදියාට සිදුවු අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටි ඔවුන් මාධ්‍යවේදීන්ට තර්ජනය කරන කවර තරාතිරමක නිලධාරීන්ට වුවද එරෙහිව දැඩි ලෙස කටයුතු කරන ලෙසත් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

“මාධ්‍යවේදීන්ගේ අයිතිය උදුරා ගන්න එපා, මාධ්‍යවේදීන්ට තර්ජනය කරන නිලධාරීන් අත් අඩංගුවට ගනු, ලංකාවේ මාධ්‍යවේදීන්ගේ අයිතිය උදුරා ගන්න එපා,” ඇතුළු සටන් පාඨ භාෂා තුනෙන්ම සදහන් පුවරු විරෝධතාකරුවන විසින් මඩකලපු නගර මධ්‍යයේ ප්‍රදර්ශනය කරන ලදී.

වසර ගණනාවක් තිස්සේ ආණ්ඩු කිහිපයක පාලන කාලය තුලදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට තවමත් යුක්තිය ඉටුවී නැතිව තිබියදී, පොලිස් නිලධාරීන් විසින් තවමත් හිරිහැර කිරීම මහත් සංවේගයට කරුණක් බව එක් මාධ්‍යවේදියකු කියා සිටියේය.

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව තමන්ට අමානුෂික ආකාරයෙන් සැළකු බවට චෝදනා කරමින් ඡායාරූප මාධ්‍යවේදි අකිල ජයවර්ධන පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

කොළඹ මහාධිකරණ පරිශ්‍රය තුළ දී නඩු විභාගයක් වාර්තා කිරීම සඳහා ඡායාරූප ගනිමින් සිටියදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් තමන් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙතට ඇදගෙන ගිය අතර එහිදී පහර දීමට තැත් කළ බවට මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහාධිකරණ පොලිස් මුරපොල වෙත කළ පැමිණිල්ලේ සදහන්ය.

මාධ්‍යවේදියාට හිරිහැර කිරීම සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ලිපියක් ද යොමු කර තිබු අතර, පොලිස් හිරිහැරය හෙලා දකිමින් දකුනේ ක්‍රියාත්මක මාධ්‍ය සංවිධාන නිවේදන නිකුත් කර තිබුනි.

එම සති අන්තයේදීම මාධ්‍ය හමුවක් කැදවමින් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, තමා අතින් සිදුවු සිදුවීම ගැන සමාව ඉල්ලා තිබුනි.

ඔහු එහිදී පවසා තිබුනේ මාධ්‍යවේදී අකිල ජයවර්ධන ගේ “පෙනුම සැක සහිත” වීම නිසා තමන් එලෙස ක්‍රියා කළ බවයි.

සමාව ඉල්ලීමෙන් සෑහීමකට පත් විය නොහැකි බව ප්‍රකාශ කළ මඩකලපු විරෝධයට එක්වී සිටි මාධ්‍යවේදියකු ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ වරදකරුවන්ට දඬුවම් දීමෙන් තොරව වාර්තාකරණයට සිදුවන අඩන්තේට්ටම් නැවැත්විය නොහැකි බවයි.

Comments are closed.