නර්ස්ලාට විදේශ විනිමය හොයන මාර්ගය වසන බවට බලධාරීන්ට චෝදනා

ශ්‍රී ලංකාවේ හෙද නිලධාරීන්ට විදෙස් ගතව සිය වෘත්තියේ යෙදී රටට විදේශ විනිමය උපයා දීමට තිබූs අවස්ථාව සෞඛ්‍ය බලධාරීන් විසින් කප්පාදු කර ඇති බවට දිවයිනේ ප්‍රමුඛතම හෙද නිලධාරී සංගමයක් චෝදනා කරයි.

වසර හතරක කාලයක් මෙරට සේවයේ නිරත වීමෙන් පසු විදෙස් ගතව රැකියාවේ නිරත වීමේ අවස්ථාව කලින් හෙද නිලධාරීන්ට සලසා දී තිබුනත් දැන් එම කාල සීමාව වසර 10 දක්වා වැඩි කර ඇති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

“සාමාන්‍ය නර්ස්ලා අවුරුදු හතරකින් පස්සේ ඩිප්ලෝමා එකක් ගන්නවා. වැඩ කරනවා අවුරුදු හතරකින් පස්සේ මේ අයට යවන්න අවස්ථාව දීලා තිබිබා. අවුරුදු හතරක් රටේ වැඩ කරනවා. වැඩ කරායින් පසුසේ ඒ අවස්ථාව තිබ්බා. නමුත් දැන් මේ අවුරුදු 4 අවුරුදු 10 දක්වා වැඩි කරලා.”

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ඒ බව සදහන් කළේ පසුගියදා කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකදීය.

මේ වන විට ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය බොහෝ සෙයින් අඩුවී ඇති බව පෙන්වා දෙන වෘත්තිය සමිති නායකයා එහිදී අවධාරණය කළේ හෙද නිලධාරීන්ට විදේශ රටවල සේවාවේ නිරත වීමට අවස්ථාව ලබා දීම මගින් මෙරටට විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවයි.

“ලෝකේ හැම රටකටම නර්ස්ලා ඉල්ලනවා. නර්ස් කෙනෙක් ගියොත් ඔස්ට්‍රේලියාවට, ඇමරිකාවට එහෙම නැත්නම් එංගලන්තයට ලක්ෂ හතරක්, පහක්, හයක් වැටුප් ගන්න පුළුවන් මාසෙකට. ලංකාවේ දළ වැටුප සාමාන්‍යයෙන් දීමනාත් එක්ක රුපියල් තිස් පන්දාහක් හතලිස් දාහක් වෙයි. දීමනා එක්ක. දීමනා මේ ගොල්ලෝ ගෙවන්නේ නෑ. ”

හෙද නිලධාරීන්ට රැකියාව සදහා විදේශ ගත වීමට තිබු අවස්ථාව ඇහිරීම හෙද නිලධාරීන්ට පමණක් නොව රටටත් කරන අසාධාරණයක් බව එහිදී පෙන්වා දුන් සමන් රත්නප්‍රිය, වෘත්තිය සමිති නායකයා වැඩි දුරටත් අවධාරණය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය රටට එහෙරිව කටයුතු කරන බවයි.

එවැනි සෞඛ්‍ය බලධාරීන් සමග රටක් ලෙස ඉදිරියට ගමන් කළ හැකිදැයි මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළ වෘත්තිය සමිති නායකයා වැඩි දුරටත් අවධාරණය කළේ ඉතා කෙටි කාලයක් තුලදී විසදුම් නොලදහොත් මැතිවරණය නිමා වීමෙන් පසු හෙද සේවාවේ අයිතිවාසිකම් සහ සෞඛ්‍ය සේවාවේ හා ජනතාවගේ පැවැත්ම වෙනුවෙන් වෘත්තීය ක්‍රියා මාර්ග වලට අවතීරණය වන බවයි.

Comments are closed.