අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව පෝලිම්වල

සංචරණ සීමා තාවකාලිකව ලිහිල් කිරීමත් සමඟ අද දිනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළඳසැල් අසල රැඳී සිටින අයුරු නිරීක්ෂණය වන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඇතැම් වෙළඳසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර, පෑලියගොඩ මැනිං වෙළඳපොල අද (25) දිනයේත් විවෘත වූ අතර එළවළු රැගත් ලොරි 350 කට වැඩි සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා.

මිල ගණන් පිළිබඳ සලකා බැලීමේදී එළවළු කිලෝවක් රුපියල් සියයේ සිට 200 අතර මිලකට අලෙවි වන බවයි මැනිං වෙළඳපොලේ සභාපති ලාල් හෙට්ටිගේ සඳහන් කළේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේද අද අලුයම් කාලයේ සිට තොග වෙළඳුන් මිලදී ගැනීම් සඳහා රැඳී සිටි බව එහි ගිය අප වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම, සංචරණ සීමා ලිහිල් කරනු ලැබුව ද ලබන ජුනි 7 වනදා දක්වා මත්පැන් අලෙවිසැල් විවෘත නොකරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.