ජනපති බයිඩ්න් කොරෝනා වෛරසයේ මූලාරම්භය ගැන බුද්ධි වාර්තාවක් කැඳවයි

ලොව පුරා දහසය කෝටි අසූලක්ෂයකට ආසාදනය වූ තිස්පන් ලක්ෂයකට අධික ජීවිත බිලිගත් කොරෝනා වෛරසයේ මූලාරම්භය ගැන කඩිනම් වාර්තාවක් සපයන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එරට බුද්ධි අංශ වෙත නියෝග කර තිබෙනවා.

ඒ, 2019 වසරේ අගභාගයේ චීනයේ වූහාන් නගරයෙන් මුලින්ම සොයා ගැනුණු කොරෝනා වෛරසය එහි පරීක්ෂණාගාරයකින් අහම්බෙන් නික්මුණේද යන්න පිළිබඳ යළි සැක මතුවීමත් සමඟයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අමෙරිකානු බුද්ධි වාර්තාවක් මගින් 2019 වසරේ නොවැම්බරයේ වූහාන් වෛරස් පරීක්ෂණාගාරයේ සාමාජිකයින් 03 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ සිද්ධියක් පිළිබඳව හෙලිදරව් කරනු ලැබුවා.

ඒ අනුවයි වෛරසය පරීක්ෂණාගාරයෙන් නික්මුණු බවට වන මතය යළි කරළියට පැමිණියේ.

කෙසේ නමුත්, එම මතය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ චීනය එය, වෛරසයේ ව්‍යාප්තිය ගැන තම රටට චෝදනා කිරීමේ බටහිර කුමන්ත්‍රණයක් ලෙස හැඳින්වූවා.

වෛරසයේ මූලාරම්භය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ මූලික විමර්ශනවලදී ප්‍රකාශ වූයේ එය ස්වභාවිකව සත්වයන්ගෙන් මිනිසුන්ට සංක්‍රමණය වූ වෛරසයක් විය හැකි බවයි.

කෙසේ නමුත්, විමර්ශන සඳහා චීනය පූර්ණ සහයෝගයක් නොදැක්වූ බවට චෝදනා එල්ල වුණා.

වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් දින 90 ක් ඇතුළත බුද්ධි වාර්තාවක් සපයන්නැයි ජනපති ජෝ බයිඩ්න් නියෝග කර ඇත්තේ මෙවැනි වාතාවරණයක් මැදයි.

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිතවලින් වසරක් පැහැරගත් කොරෝනා වෛරස් වසංගතයේ මූලාරම්භය පිළිබඳව විමර්ශන විනිවිදභාවයකින් යුක්තව සිදුකළ යුතු බවට අමෙරිකානු සෞඛ්‍ය ලේකම් සේවියර් බෙකෙරා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්ද කළා.

මේ අතර, කොරෝනා වෛරසය චීනය විසින් කෘතිමව නිෂ්පාදනය කරන ලද්දක් බවට දිගින් දිගටම චෝදනා කළ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් පෝස්ට් පුවත්පත වෙත ඊමේල් පණිවුඩයක් යොමුකරමින් ප්‍රකාශ කළේ තමා මුල සිටම වෛරසයේ මූලාරම්භය පිළිබඳව සැක පළ කළ බවයි.

එහිදී තමා දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයින් දැන් තම මතය නිවැරදි බව පිළිගනු ඇතැයිද ඔහු එමඟින් කියා සිටියා.