මහනුවර, යාපනය, රත්නපුර එන්නත්කරණය අද ඇරඹේ

යාපනය, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල එන්නත්කරණය අද සිට ආරම්භ කෙරෙනවා.

අදාළ දිස්ත්‍රික්කවල අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ඉලක්ක කරගනිමින් ලබාදීමට සයිනොෆාම් සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000 බැගින් යොමුකර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසලේදී සහ මැණික්හින්න – පිලවල මහා විද්‍යාලයේදී උදෑසන අටට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කෙරෙන්නේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේදී සහ කුඹුගොඩආර – රතනාරාම විහාරස්ථානයේදියි. යාපනය දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 12 කදී එන්නත්කරණය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගත් පළමු සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගය ජූනි මස 6 වනදා මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මේ දක්වා මෙරට තුළ හදිසි භාවිතයට ගැනුනේ චීන රජයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු  එන්නත් තොගයක් බවයි.

අන්තර්ජාතිකව ලබාදුන් මිල ගණන් අනුව ටෙන්ඩර් පටිපාටියක් හරහා අදාළ එන්නත් මාත්‍රා මිලියනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගෙන තිබෙනවා. ඒ, එක් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 15 ක මිලකටයි.

මේ අතර කොළඹ නගරයේ වයස අවුරුදු 60 ට වැඩි ජනතාවගෙන් සියයට 65 ක් සම්පුර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි ප්‍රකාශ කළා.