පෑලියගොඩ කොරෝනා පොකුර රට වටේම යයි

කොළඹ කොටුව, පිටකොටුව, වැලිකඩ සහ බොරැල්ලට ඇඳිරි නීතිය

– 15 වැනි කොරෝනා මරණයත් කුලියාපිටියෙන්

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

– මාළු වෙළෙඳුන් සහ ධීවරයන් කොරෝනා ගොදුරු වෙලා

– කොළඹ සහ ආශ‍්‍රිතව ආසාදිතයෝ 700 ක්

– පෑලියගොඩ පොකුරෙන් ඊයේ තවත් ආසාදිතයෝ 263ක්

– ඇඳිරි නීති ප‍්‍රදේශවල අද වෙළෙඳ සල් ඖෂධ සල් විවෘත කිරීමට අවසර

– යතුරුපැදිවලින් ගොස් ගම්පහ මාළු විකිණූ 7 දෙනකුටත් කොරෝනා

– දඹුල්ල මාළු වෙළෙඳ පොළත් වසයි

– මීගමුව නගරයේ සහ මීගමුව ධීවර ගම්මානවල 36 කට කොරෝනා

– ගම්පොළ තවත් සරසවි ශිෂ්‍යාවකටත් කොරෝනා

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් ආරම්භ වූ කොරෝනා පොකුර ඊයේ (25 වැනිදා) වන විට මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරද අභිබවා යමින් ශීඝ‍්‍රයෙන් රට පුරා පැතිර යන තත්ත්වයක් නිර්මාණය වී තිබිණී.

මේ වන විට ඇතිවී තිබෙන වාතාවරණය තුළ කොරෝනා රෝගය ශී‍්‍ර ලංකාවේ සමාජය අතරට පැතිර යමින් සමාජගත වීමේ අබියසටම පැමිණ ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ඊයේ සඳහන් කළේය.

පැවති අවදානම්කාරී තත්ත්වය එසේ වෙද්දී රටේ ප‍්‍රදේශ රැුසකින් මත්ස්‍ය වෙළෙඳාමේ නිරතව සිටි වෙළෙන්දන් සහ ධීවර ක්‍ෂේත‍්‍රයේ රැුකියාවල නිරතව සිටි පුද්ගලයන් විශාල පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයිද ඊයේ වාර්තා විය.

මෙමගින් කොළඹ නගරයටද දැඩි බලපෑමක් එල්ල වී තිබුණු අතර මේ වන විට කොළඹ නගරය හා ඒ ආශි‍්‍රත ස්ථානවලින් කොරෝනා ආසාදිතයන් හත්සියයකටත් අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි කොළඹ මහ නගර සභා සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති. කොරෝනා වෛරසයේ වත්මන් ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් කොවිඞ් 19 මර්දනය කිරීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (25 වැනිදා) උදෑසන මාධ්‍යයට සඳහන් කළේ පෙරේදා (24 වැනිදා) දිනයේ පමණක් මෙරටින් කොරෝනා ආසාදිතයන් 368 ක් වාර්තා වී ඇති අතර ඉන් බහුතරයක් දෙනා පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ සහ ඒ ආශි‍්‍රත පුද්ගලයන් බවය.

මෙම ආසාදිතයන්ගෙන් 232 දෙනකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයන් වන අතර කොළඹ ඇතුළුව රට පුරා ප‍්‍රදේශ රැුසකින් එම ආසාදිතයන් වාර්තා වී තිබිණි.

ඒ අනුව ගුණසිංහපුර 77ක්, කොටහේන 20ක්, බම්බලපිටිය 08ක්, හෝකන්දර 05ක්, කොලොන්නාව 10ක්, කැලණිය 05ක්, පෑලියගොඩ 16ක්, හලාවත 08ක්, කොළඹ කොටුව 12ක්, කඩවත 10ක්, වත්තල 09ක්, දෙමටගොඩ 08ක්, ගිනිගත්හේන 02ක්, බුලත්සිංහල 02, මාලිගාවත්ත 06ක්, මුල්ලේරියාව 05ක්, කොල්ලූපිටිය 04ක්, බංගදෙනිය 02ක්, ඔරුගොඩවත්ත 05, රාගම 03, පුස්සැල්ල 01, කෙසෙල්වත්ත 08 සහ මට්ටක්කුලිය 06 ක් ලෙස එසේ රෝගීහු වාර්තා වූහ.

ධීවර වරායන් ආශ‍්‍රිතව ආසාදිතයන් 24ක් හඳුනාගෙන තිබුණු අතර එය රාගම 05, වත්තල 05, කොළඹ 01, බුලත්කොහුපිටිය 01, තඹුත්තේගම 01, පුස්සැල්ලාව 01, මාදම්පේ 01, ත‍්‍රිකුණාමලය 05, ඇවරිවත්ත 01, උඩුගම 01 සහ බ්ලූමැන්ඩල් 01 ලෙස සඳහන් විය.

මෝදර 06ක්, බොරැුල්ල 03, ග‍්‍රෑන්ඞ්පාස් 04ක්, කිරුළපන 02ක්, මරදාන 02ක්, නාරාහේන්පිට 01ක්, මිරිහාන 01, කොළඹ කොටුව 01, ග‍්‍රෑන්ඞ්පාස් 02, කොළඹින් රෝගීන් වාර්තා වී තිබිණී.

ගම්පහින් වාර්තා වූ රෝගීන් ගණේමුල්ල 08,

පෑලියගොඩ 06, දෙමටගොඩ 02, කඩුවෙල 02ක්, හොරම්පැල්ල 01, උඩුගම්පොළ 01, දොම්පේ 01, පූගොඩ 02, නිට්ටඹුව 01, යක්කල 01, පැල්වෙල 01 සහ සීදුව 02 ලෙසින් සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මතුගමින් 02ක්, බුලත්සිංහල 01, අගලවත්ත 03ක්, පාලින්ද නුවර 02ක් ආකාරයෙන් කළුතරින් රෝගීන් වාර්තා වී තිබුණු අතර කුරුණෑගලින් වාර්තා වූ අට දෙනා කුලියාපිටිය 03ක්, දුම්මලසූරිය 02ක්, දඹදෙණිය 01ක් සහ ගිරිඋල්ල 02ක් ලෙස සඳහන් විය.

මාතර ප‍්‍රදේශයෙන්ද මේ අන්දමට රෝගීන් දෙදෙනකු වාර්තා විය.

ඊයේ (25 දා) රාත‍්‍රි 10.00 වන විට නිකුත් කළ වාර්තා අනුව කොරෝනා ආසාදිත වූ තවත් 348 දෙනකු සොයාගෙන තිබිනි. මේ අතරින් ආසාදිතයෝ 312 ක් ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල ආශ‍්‍රිතයන්ය.

නිරෝධායනයට යොමුකර සිටි පුද්ගලයන් අතරින් 36 දෙනකුත් ආශි‍්‍රතයන් 227 දෙනකුත් එසේ අලූතින් හඳුනා ගැනුණු බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබීය.

මෙම තත්ත්වයත් සමග අධික ජනගහනය පිළිබඳ සලකා බලා ඊයේ පස්වරු 6.00 සිට කොළඹ කොටුව, පිටකොටුව, වැලිකඩ සහ බොරැුල්ල යන පොලිස් බල ප‍්‍රදේශවලටද නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්් අද (26 වැනිදා) පෙරවරු 5.00 සිට බේරුවල, අලූත්ගම සහ පයාගල ප‍්‍රදේශවලට පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බව ඊයේ දහවල් සඳහන් කෙරුණද සවස් වන විට එම තීරණය වෙනස් කිරීමටද බලධාරීහු කටයුතු කළහ.

ඒ අනුව පොලිස් කොට්ඨාස 64 ක් පුරා දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු කි‍්‍රයාත්මක වන අතර අද (26 වැනිදා) ගම්පහ දිස්ති‍්‍රක්කය ඇතුළු ඇඳිරි නීතිය පනවා ඇති අනෙකුත් ප‍්‍රදේශවල ජනතාවගේ පහසුව පිණිස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ වැනි දේ ලබා ගැනීමට වෙළෙඳසල් හා බැංකු ආදිය විවෘත කිරීමට අවසර ලබාදීමටද පියවර ගැනීමට රජය කටයුතු කළේය.

ඇඳිරි නීතිය පැවතියද ඒ අනුව පෙරවරු 8.00 සිට රාතී‍්‍ර 10.00 දක්වා අදාළ වෙළෙඳ සල් විවෘත කිරීමට අවසර ඇත.