ගිලුණු නැව ගැන ඉන්දු – ශ්‍රී ලංකා, නාවික හමුදාපතිවරු සාකච්ජාවක

ගිලෙමින් පවතින එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ඉන්දීය නාවික හමුදාපතිවරයා සහ මෙරට නාවික හමුදාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඊයේ පස්වරුවේ ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් කරම්බීර් සිං දුරකථන මාර්ග ඔස්සේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න සමඟ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීම සම්බන්ධයෙන් දෙරටේ නාවික හමුදාපතිවරු දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර, නෞකාව දැනට පවතින ස්ථානයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් අවදානය යොමු කර ඇති බව වෙළද නාවික ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න කියා සිටියේ නෞකාවේ තෙල් කාන්දුවක් ඇති බවට තවමත් වාර්තා වී නොමැති බවයි.
නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත සමාගම දැනුම් දී ඇත්තේ එහි තිබූ ඉන්ධන ගින්නත් සමග දැවී ඇති බවට විශ්වාසය පළ කරන බවයි.
කෙසේ වෙතත්, එය තහවුරු කර ගැනීම සඳහා නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත සමාගම කිමිදුම්කරුවන් කණ්ඩායමක් අදාළ නෞකාව පතුල පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව ද වෙළද නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න කියා සිටියා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ යම්හෙයකින් හෝ තෙල් කාන්දුවක් සිදුවුවහොත් එම තෙල් විසිරිය හැකි ප්‍රදේශ මේ වන විට හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව තෙල් විසිරීම පාලනය කිරීමට අවශ්‍ය පාවෙන බෝයාවන් ප්‍රමාණවත් ලෙස සූදානමින් තබා ඇති බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එමෙන්ම, තෙල් විසිරීමක් විය හැකි වෙරළ කලාපයේ ඇති කලපු හා අනෙකුත් සංවේදී කලාප ආරක්ෂා කිරීමට ද පාවෙන බෝයාවන් සූදානම් කර තිබෙනවා.
මේ අතර, පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද විශේෂ සාකච්ඡාවක් අද වරාය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.
පෙරවරු 10ට වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ද කැදවා ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නට අදාළව චෝදනා එල්ල වූ සියළුම පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක විය යුතු බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා.
කළුතර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.