එළවළු සහ පළතුරු විශාල ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථාන වෙත

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමත් සමග එළවළු මිල සැළකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.

එහි වෙළඳ සංගමය ප්‍රකාශ කළේ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එළවළු රැගත් ලොරි රථ අද දිනයේ ආර්ථීක මධ්‍යස්ථානය වෙත පැමිණි බවයි.

ලීක්ස්, බෝංචි, කැරට් වැනි උඩරට එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 150 ත් 250 ත් අතර පැවති අතර, වම්බටු, මෑකරල්, කරවිල, පිපිඤ්ඤා වැනි පහත රට එළවළු කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 100 ත් 150 ත් අතර අගයකයි.

අමු මිරිස් කිලෝවක් රුපියල් 190 ත් 200 ත් අතර මිලක පැවති අතර, තක්කාලි කිලෝවක් අලෙවි වුණේ 120 ත් 150 ත් අතර මිලකටයි.

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළදපළ ද තොග වෙළදාම සඳහා අද පෙරවරුවේ විවෘත වුවද  භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණෙන තොග වෙළදුන්ගේ අඩුවක් දක්නට ලැබුණා.

එසේම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ද අද දිනයේ එළවළු සහ පළතුරු තොග පැමිණෙන අයුරු දක්නට ලැබුණු අතර උදෑසන 8.30 පමණ වන විට එළවළු කිලෝ 30,000කට ආසන්න ප්‍රමාණයක් සහ පළතුරු කිලෝ 10,000ක් පමණ ලැබී තිබූ බවයි වාර්තා වූයේ.