ගම්මන්පිල ලංකාවේ දැවැන්තම ආයෝජනය ගෙන ඒමට යයි
තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට යන බවට පැතිර යන වාර්තා අසත්‍යක් බවත් ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ඛනිජ තෙල් සංස්ථාව හරහා ගෙන එන බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.
කොළඹදී අද (03දා) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“මා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් වැරදි ලෙස හුවා දක්වමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලිකරණයට සූදානම් වන බවට වැරදි මතයක් සමාජගත කරමින් ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය විනාශ කිරීමට ජාතියේ සතුරන් උත්සාහ කරන බව පෙනී යනවා.
1969 ආරම්භ කළ සපුගස්කන්ද පිරිපහදුව ලංකාවේ ඇති එකම පිරිපහදුවයි. 1983 සිට මේ දක්වා විවිධ ආණ්ඩු විසින් නව පිරිපහදුවක් ඉදි කිරීමට වෙර දැරුවත් ඒ කිසිම උත්සාහයක් සාර්ථක වුණේ නෑ. වත්මන් පිරිපහදුවේ ධාරිතාව දිනකට බැරල් 38,000 සිට 45,000 දක්වා වැඩි කිරීමටත් බැරල් ලක්ෂයක ධාරිතාවයක් ඇති නව පිරිපහදුවක් සපුගස්කන්දේම ඉදි කිරීමටත් අපි මේ දිනවල ශක්‍යතා අධ්‍යනයක් කරනවා.
මේ ව්‍යාපෘතියට ඩොලර් බිලියන 3ක් හෙවත් රුපියල් බිලියන 600ක් පමණ වැය වෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව මේක ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතියයි. තරගකාරි ලංසු කැඳවීමකින් කරන ලංකාවේ පළමු දැවැන්ත ව්‍යාපෘතිය ලෙසත් මේක හඳුන්වා දෙන්න පුළුවන්. මේ දක්වා ලංකාවේ ප්‍රධාන ව්‍යාපෘති සියල්ලටම සිදු කලේ තරගකාරි ලංසු කැඳවීමක් නැතිවයි.
මේ දැවැන්ත මුදල ණයක් ලෙස ලබා ගන්න ණය බරින් මිරිකිලා ඉන්න ආණ්ඩුවටවත් සංස්ථාවටවත් හැකියාවක් නෑ. ඒ නිසා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ බීඕටී නැතිනම් ඉදිකර මෙහෙයුම් කර පවරන ව්‍යාපෘතියක් හැටියටයි. තවත් සරලව කිව්වොත් පිරිපහදුව ඉදි කරන ආයෝජකයා තමන්ගේ පිරිවැය ලාභයක් සහිතව අය කර ගැනීමෙන් පසුව එහි අයිතිය තෙල් සංස්ථාවට පැවරිය යුතුය.
දැනට ලංකාවේ තෙල් පිරිපහදුවක් පවත්වා ගෙන යෑමේ ඒකාධිකාරිය හිමි වන්නේ තෙල් සංස්ථාවටයි. ඒ නිසා වෙනත් ආයෝජකයෙකුට තෙල් පිරිපහදු කිරීමේ අයිතිය ලබා දීමට නම් 1961 අංක 28 දරණ ඛනිජතෙල් සංස්ථා පනත සංශෝධනය කරන්න වෙනවා. පනත සංශෝධනය කරන්නේ නැතුව කිසිම ආයෝජකයෙක් පිරිපහදුවක් හදන්න එන්නේ නෑ. ඒක හරියට ලංකාවේ හෙරෝයින් නිෂ්පාදනයට ආයෝජකයින්ට ඇරයුම් කරනවා වගේ වැඩක්.
මේ ව්‍යාපෘතියෙන් රටට ඩොලර් බිලියන 3ක ආයෝජනයක් ලැබෙනවා වගේම රට තුල තෙල් පිරිපහදු කිරීමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් ඉතිරි කරන්නත් පුළුවන්. ඒ වගේම ජාතික ඛනිජතෙල් අවශ්‍යතාව රට තුලම පිරිපහදු කිරීමෙන් බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවෙනවා.”