වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ඉතිහාසයේ උපරිම මට්ටමට

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා මිනිස් ක්‍රියාකාරකම් සීමාවුවද වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

මීට වසර 63 කට පෙර වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ගණනය කිරීම ආරම්භ කළදා පටන් එහි ඉහළම අගයක් පසුගිය මැයි මාසයේදී වාර්තා වී තිබෙනවා.

ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලය පිළිබඳ පරිපාලන ආයතනය හෙවත් නෝවා, හවායි දිවයිනේ පවත්වාගෙන යන කාලගුණ මධ්‍යස්ථානය මගින් මෙම දත්ත ලබාගෙන ඇති බව සඳහන්.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ පසුගිය මාසයේ එහි කාබන්ඩයොක්සයිඩ් අංශු ප්‍රමාණය මිලියනයකට 419 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මිනිසා විසින් වසරකදී වායුගෝලයට එක් කරන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය මෙට්‍රික් ටොන් බිලියන 40 කට ආසන්නයි.

එවැනි තත්ත්වයක් මීට පෙර පැවතුණේ මීට වසර මිලියන 04කට පෙර සාගර ජල මට්ටම අදට වඩා මීටර 24 ක් ඉහළින් පැවති තත්වයකදී බව විද්‍යාඥයන්ගේ අදහසයි.

එහිදී පෘථිවියේ උෂ්ණත්වය කාර්මික විප්ලවය සමයේ පැවති මට්ටමට වඩා ෆැරන්හයිට් අංශක හතක් ඉහළින් සටහන්වී තිබෙනවා.

ගෝලීය වසංගතය නිසා මිනිස් ක්‍රියාකාරකම් අඩුවුවද ලැව්ගිනි මෙන්ම වායුගෝලයේ කාබන්වල ස්වභාවික ක්‍රියාකාරීත්වය නිසාද මෙම තත්වය ඇතිවිය හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි.