රනිල්ගේ නම සති දෙකක් තුල මැතිවරණ කොමිසමට – සජිත් සුවවූ පසු සමගි ජනබලවේගයේ තවත් හමුවක්
එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එහි නායක රනිල් වික්‍රමසිංහගේ නම ඉදිරි සති දෙක තුළ මැතිවරණ කොමිසම වෙත යොමුකිරීමට නියමිතව තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය කටයුතු පක්ෂයේ නීති අංශය විසින් සිදුකරමින් පවතින බවයි.
රනිල් වික්‍රමසිංහ එළඹෙන 22 වනදා හෝ ඉන්පසුව එළඹෙන පාර්ලිමේන්තු සතියේදී එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
මෙවැනි පසුබිමක සමගි ජනබලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයට සහයෝගය පළ කර යෝජනාවක් සම්මත කර ගනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් දේශපාලන කරලිය තුල මේ වනවිටත් කතාබහක් ඇතිව තිබෙනවා.
ඇතැම් ජාතික පුවත්පත් පසුගිය දිනවල එය සමගි ජනබලවේගයේ අර්බුදයක් ලෙස හුවා දැක්වූ අතර, ඇතැම් වාර්තාවල එය එක්සත් ජාතික පක්ෂ නායකවරයා, පාර්ලිමේන්තුවට පැමිණීම හා සම්බන්ධ කර වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත්, එම යෝජනාව සම්මත කර ගත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවට කොරෝනා වෛරසය ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වූයේ නැහැ.
එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එළඹෙන 21 වනදා නිරෝධායන කාලසීමාව අවසන් කර විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් මන්ත්‍රී කණ්ඩායම් හමුවක් පැවැත්වෙනු ඇති බවයි.