ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ්-19 රෝගීන් 43 දෙනෙක්

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මේ වන විට කොරෝනා ආසාදිතයන් 43 දෙනෙකු වාර්තා වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

කොළඹ නැව් තටාකාංගනයේ කොරෝනා පොකුර හේතුවෙන් බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ මේ වන විට කොවිඩ්-19 රෝගීන් 32 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර තවත් රෝගීන් 11 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගෙන ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ පිළිබඳව අදහස් දැක්වූ ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා.

“බලපිටිය, කටුවිල ගම්මානයේ පසුගිය 24 වන දා පී.සී.ආර්. පරීක්ෂණ 582ක් කළා. ඉන් 362 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුණා. 50 දෙනෙකුගේ පී.සී.ආර්. ප්‍රතිඵල එන්න තියෙනවා. තවත් පී.සී.ආර්. පරීක්ෂණ 175ක් කරන්න තියෙනවා. 

මේ වන විට ඇල්පිටියේ එක් අයෙකු, කරන්දෙණියේ එක් අයෙකු, ඉඳුරුවේ 2 දෙනෙකු, රත්ගම 4 දෙනෙකු, ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ 4 දෙනෙකු, බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ 32 දෙනෙකු වාර්තා වෙලා තියෙනවා. 

මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ හා කොළඹ නැව් තටාකාංගනයේ කොරෝනා පොකුරුවල ආශ්‍රිතයින්ගෙන් තමයි මේ අයට කොරෝනාවෛරසය ආසාදනය වෙලා තියෙන්නේ.

පී.සී.ආර්. පරීක්ෂණ දත්ත අනුව ප්‍රජාව අතුරින් කිසිදු ආශ්‍රිතයෙකු හමුවෙලා නැහැ. මේ පොකුරුවල ආශ්‍රිතයින්ගෙන් තමයි අනික් අය ආසාදනය වෙලා තියෙන්නේ. ඒ නිසා මේක සමාජය තුළ පැතිරී තියෙනවා කියන නිගමනය වැරදියි.”