වී, සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිඟු තොග දත්ත සඳුදා සිට පාරිභෝගික අධිකාරියේ වෙබ් අඩවියට
වී, සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිඟු නිෂ්පාදකයින්, ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළඳුන් සිය තොග පිළිබඳ දත්ත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වෙබ් අඩවියට ඇතුළත් කිරීමට හා යාවත්කාලීන කිරීමට ලබන සඳුදා සිට අවස්ථාව හිමිවනවා.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ www.caa.gov.lk වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අවස්ථාව පවතින බවයි.
අදාළ තොග පිළිබඳ දත්ත දින 7 ක් ඇතුළත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම්දී ලියාපදිංචි විය යුතු බව දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.
එමෙන්ම, එම දින 07 තුළ ඔවුන් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචියද අනිවාර්යයෙන් ලබාගත යුතුයි.
ඒ අනුව එම අධිකාරියේ ලියාපදිංචියකින් තොරව කිසිදු සහල් නිෂ්පාදකයෙකුට හෝ වී මෝල් හිමියෙකුට තොග තබා ගැනීමට අවසර හිමිවන්නේ නැහැ.
සීනි සහ කිරිපිටි මෙන්ම බඩඉරිඟු පිළිබඳ සියලු තොරතුරුද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නොසඟවා සැපයිය යුතු බවටද මෙම ගැසට් නිවේදන මගින් විධාන කර තිබෙනවා.