සල්මන් හුඟාක් දුර ගිහින්
ක්ෂේත්රයේ සියලු දෙනාම ආදරයට ඔහු හඳුන්වන්නේ ජග්ගු දාදා නමිනි. දශක හතරක පමණ දිගු කාලයක් තිස්සේ ක්ෂේත්රයේ සිටින්නේ වී නමුත් අදටත් ඔහුගේ ජනප්‍රියත්වයේ වෙනසක් නැත. බොලිවුඞ් තිරයේ වීරයෙකු ලෙසින් රඟ පෑ චරිතවලින් කෙමෙන් ඈත් වී සහාය චරිතවලට සීමා වෙන්නට සිදු වූයේ කාලයාගේ ඇවෑමෙනි. එහෙත් ඔහුගේ රඟපෑම්වල විශිෂ්ටත්වයනම් අඩු වී නැත. ඔහු රඟ පාන අලුත්ම චිත්‍රපටිය රාධේ- ද මෝස්ට් වෝන්ටඞ් භායි පසුගියදා ඉන්දියාවේ ඩිජිටල් ප්‍රදර්ශනය ඇරඹිණි. තවත් රටවල් 40 ක තිරගත වූයේය. ඒ වෙනුවෙන් පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු තමා තවමත් නිරුපද්‍රිතව ක්ෂේත්රයේ රැඳී සිටීම, සමාජ මාධ්‍ය ගැන පමණක් නොව සල්මන් ඛාන් ගැන ද කතා කළේය.
සල්මන් ඛාන් ක්ෂේත්රයට පා තබන්නටත් පෙරම ජැකී ඔහු ගැන දැන සිටියේය. අනූ ගණන්වල පටන්ම සල්මන් සමඟ චිත්‍රපටිවල රඟ පෑවේය. එපමණක් නොව ඔවුන් අතර සුවිශේෂ බැඳීමක් ද ඇත්තේය. ඒ පිළිබඳව ජැකී කතා කළේ මහත් රුචියෙනි.
“මම සල්මන් දැනගෙන හිටියෙ මොඞ්ල් කෙනෙක් විදියට.. ඊට පස්සේ සහකාර අධ්යක්ෂ කෙනෙක් විදියට හඳුනා ගත්තා.. මම 1988 දී ෆලාක් චිත්රපටියෙ රඟ පානකොට මට මගෙ ඇඳුම්, සපත්තු එහෙම ළඟට ගෙනත් දුන්නෙ සල්මන්.. එයා තමයි ඒකෙ සහකාර අධ්යක්ෂ.. එහෙම ගෙනත් දීලා මගෙ දිහා බලාගෙනම ඉන්න පුරුද්දක් එයාට තිබුණා.. ඇත්තටම ඒ වගේ වෙලාවල මම එයාව දැක්කෙ මගේම මල්ලි කෙනෙක් විදියට.. ඉතින් ඒ හින්දම මම, මං රඟ පාන චිත්‍රපටිවල නිෂ්පාදකයන්ට, අධ්‍යක්ෂවරුන්ට එයාගෙ ෆොටෝ පෙන්නුවා.. 1989 දී කේ. සී බ්රොකේඩියාගේ මස්සිනා තමන්ගෙ චිත්රපටියෙ ප්‍රධාන චරිතයට සල්මන් යොදා ගන්න කැමති වුණා.. ඒ චිත්‍රපටිය මේනේ ප්යාර් කියා.. ඒකෙන් තමයි ඔහුගේ ජනප්‍රියත්වයට පාර කැපුණේ.. සල්මනුයි මායි හුඟාක් සමීප වුණෙත් ඊට පස්සෙ.. එයා විශ්වාස කළා තමන්ගෙ ජීවිතේ වෙනසකට මඟ පෑදුවේ මං කියලා.. එයාගෙ චිත්‍රපටිවලදිත් මුලින්ම හිතුවෙ මං ගැන..” ජැකී කියාගෙන ගියේය.
රාධේ චිත්‍රපටිය ප්‍රභූ දේවාගේ අධ්‍යක්ෂණයකි. එහි ප්‍රධාන චරිතය රඟ පාන්නේ සල්මන් ඛාන්ය. නිෂ්පාදනය කරන්නේත් සල්මන්, සොහේල් ඛාන්, අතුල් අග්නිහෝර්ති සහ සී ස්ටුඩියෝය. “මේක ඇක්ෂන් කොමඩි ගණයට වැටෙන චිත්‍රපටියක්.. කොමඩි චිත්‍රපටිවලින් මම ඈත් වෙලා හිටියෙ මගෙ වරදක් හින්දා නෙමෙයි.. තිර කතා රචකයෝ හිතන්න ඇති ඒ චිත්‍රපටිවලට ගැලපෙන පෙනුමක් මගෙ නෑ කියලා.. රාධේ- ද මෝස්ට් වෝන්ටඞ් භායි චිත්‍රපටියට මාව යොදා ගන්න අදහසක් තියෙනවා කියලා දැන ගත්තම මගෙ හිත අතීතයට ගියා.. 1993 දී මං රඟ පෑව ගාර්දිෂ් චිත්රපටියෙ සින්දුවක නැටුම් නිර්මාණය කෙරුවේ ප්‍රභූ දේවා.. 2002 දී ඔහු මාත් එක්ක අග්නි වර්ෂා චිත්‍රපටියේ රඟ පෑවා.. ඉතින් මම කල්පනා කළා චිත්‍රපටියක මාව නටවන්න පුළුවන් වුණ මනුස්සයට මාව කොමඩි චිත්‍රපටියක රඟ පාවන්න බැරි වෙන එකක් නෑනෙ කියලා.. එහෙම හිතලා චිත්‍රපටිය බාර ගන්න කැමති වුණා.. ” ජැකී ෂ්රොප් සිනාසෙමින් කීවේය.
ජැකීටත්, සල්මන්ටත් නැවතත් එකම චිත්‍රපටියක ර` පාන්නට අවස්ථාව ලැබුණේ ඒ අකාරයටය.
“සහාය අධ්යක්ෂවරයෙක් විදියට ක්ෂේත්රයට ආව සල්මන් මේ වෙනකොට හුඟාක් දුර ගිහින්.. ඔබ පටන් ගැන්මේ ඉඳලම ඔහුට සමීපව හිටිය කෙනෙක්.. මේ දශක ගණනාව තුළ ඔබලා දෙන්නගේ බැඳීමේ ඇති වුණ වෙනස්කම් මෙනාවද..?”
මාධ්‍යවේදියා ජැකීගෙන් ප්‍රශ්න කළේය.
“කිසිම වෙනසක් නෑ.. සල්මන් මට ජග්ගු කියලා කතා කරනවා.. මම සල්ලු කියලා කතා කරනවා.. කවදා හරි දවසක සල්මන් මට මිස්රේ ෂ්රොෆ් කියලා කතා කළොත් අන්න එදාට මං තේරුම් ගනියි තව දුරටත් අපි දෙන්නා එක සමාන නෑ, එයා වෙනස් වෙලා කියලා..” ජැකී පිළිතුරු දුන්නේය.