ඔන්ලයින් අධ්‍යාපනය සියයට 60කින් අසාර්ථකයි

කොරෝනා වසංගතයත් සමඟ මෙරට ක්‍රියාත්මක වන මාර්ගගත හෙවත් ඔන්ලයින් අධ්‍යාපනය සියයට 60 කින් අසාර්ථක බව ලංකා ගුරු සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ රජය මගින් ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ මගින් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදයේ පවතින ප්‍රායෝගික ගැටලු නිරාකරණය සඳහා විසඳුම් ලබාදී නොමැති බවයි.

මේ අතර, බිබිල – ලුණුගල – පල්ලෙකුරුව ප්‍රදේශයට අන්තර්ජාල සංඥා නොමැති වීමෙන් පාසල් සිසුන්ට ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබා ගැනීමේ දුෂ්කරතා රැසක් පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නා.

අන්තර්ජාල සංඥා ලබා ගැනීම සඳහා දරුවන්ට උස්බිම් වල පිහිටි කැලෑබද ප්‍රදේශවලට යාමට හෝ ගස් මත නැගීමට පවා සිදුව ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මේ අතර, ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතු වල නිරත වන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව ඊ – තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙසට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊ – තක්සලාව සදහා නව ක්‍රමවේදයක් හදුන්වාදීම සදහා අරලිය ගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ජාවකට එක්වෙමින්.