ජිනීවා නුවරදී පැවැත්වෙන බයිඩන්-පූටින් හමුවට පැමිණි මාධ්‍ය දොට්ට ….
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ඇමෙරිකානු ජනපති බයිඩන් හා රුසියානු ජනපති පූටින් අතර හමුව වාර්තා කිරීමට පැමිණි දෙරටේම මාධ්‍යවේදීන්ව, දෙරටේම ආරක්ෂක අංශ විසින් තල්ලු කරමින් එළියට ඇද දමන නොසන්සුන් වාතාවරණයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ජිනීවා විලේ වම් ඉවුර අසල 18 වැනි සියවසට අයත් ඓතිහාසික බංගලාවක සිදුවන මෙම සාකච්ඡාව ආරම්භයේදී දෙරටේම නායකයන් අතට අත දෙමින් සාකච්ඡාව සඳහා එහි ඇතුළත පුස්තකාල ශාලාවට පිවසෙන තෙක් තත්ත්වය තරමක් යහපත් වුවද, ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව සඳහා දෙරටේම මාධ්‍ය සඳහා සමාන අවස්ථා නොලැබීම හේතුවෙන් මෙම නොසන්සුන්තාව ඇතිවී තිබේ.
එහිදී නායක දෙපළ බංගලාවට ඇතුළු වී කෙටි වේලාවකට පසුව මාධ්‍යවේදීන් පසෙකින් වූ දොරකින් ඒ තුළට පිවිස ඡායාරූප ගැනීම් හා වාර්තා කිරීම් සිදුකිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇමෙරිකානු හා රුසියානු ආරක්ෂක අංශ විසින් ඔවුන් තල්ලු කරගෙන ගොස් එළියට දමනු ලැබුවේ මාධ්‍යවේදීන්ගේ කෑකෝගැසීම් මධ්‍යයේය.
එහිදී තමන්ව තල්ලු නොකරන ලෙස ඇතැම් මාධ්‍යවේදීනියන් ආරක්ෂක අංශ වෙත උස් හඬින් පවසන විට, ශබ්ද නොකරන ලෙසට කෙරෙන ඉල්ලීම්ද අසන්නට ලැබුණි.
වාර්තාකරුවන් කාමරයට පැමිණීමට පෙර නායකයන් දෙදෙනා ඉතා කෙටි අදහස් දැක්වීමක් සිදුකරමින් සිටියද, ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන්ව පිටතට ඇද දමන නොසන්සුන් සිදුවීම හමුවේ බයිඩන් මෙන්ම පූටින්ද කරකියාගත දෙයක් නොමැතිව මද සිනහවක් පාමින් ඒ දෙස බලා සිටියහ.
මේ කලබලය තවත් මොහොතක් පැවති නිසා බයිඩන් පූටින් වෙත හැරෙමින් කියා සිටියේ, “මුහුණට මුහුණ හමුවීම සැමවිටම හොඳයි” යනුවෙනි.
බොහෝ රටවල මාධ්‍යවේදීන් ලෝක නායකයන්ගේ හමුවීම්වලදී හොඳම අවස්ථාව ලබාගැනීමට උත්සාහ දරද්දී මෙවැනි අවුල්සහගත සිදුවීම් අසාමාන්‍ය දේවල් නොවේ. නමුත් මෙම අවස්ථාවේදී පැවති තත්ත්වය සාමන්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගිය අවස්ථාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, දෙරටේම මාධ්‍ය වෙත සමාන අවස්ථාවක් නොලැබීම ගැන ඔවුන් එකිනෙකාට චෝදනා කරගන්නා ආකාරයක්ද දැකගත හැකිවිය.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සහ රුසියානු විදේශ අමාත්‍ය ලැව්රොව්ද මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර, මෙම බයිඩන් – පූටින් හමුව ලෝකයටත් වඩා වැදගත් වන සාකච්ඡාවක් වනු දැකීම කාගේත් අපේක්ෂාව බව විදෙස් විචාරකයෝ පවසති.