එළවළු, සහල් මිල අහස උසට

වෙළඳපොලේ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

අප කළ සොයාබැලීමකදී අනාවරණ වූයේ ඇතැම් එළවළුවල තොග මිල කිලෝවක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි වන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම එළවළු බොහොමයක සිල්ලර මිල ග්‍රෑම් 250 පවතින්නේ රුපියල් 80 ත් 90 ත් අතර මිලකයි.

එමෙන්ම අද සහ හෙට දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ අනුව තොග වෙළදාම් සිදුකරන පුද්ගලයින්ට සහ ජංගම වෙළදසැල් පවත්වාගෙන යන පුද්ගලයින්ට ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ එළවළු සහ පළතුරු මිලදී ගැනීමට හැකියාව පවතින බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව මැනිං පොදු වෙළඳ සංකීර්ණයේ මේ වනවිට දැඩි තදබදයක් පවතින බවයි මැනිං පොදු වෙළදපොළ හා සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක කියා සිටියේ.

වෙළදපොළේ සහල් මිල ගණන් ද මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රුපියල් 98කට පැවති නාඩු සහල් කිලෝවක්  අලෙවි වන සිල්ලර මිල රුපියල් 120ත් 125ත් අතර වනවා.

එමෙන්ම 84ත් 85ත් අතර මිලක පැවති  සුදු හා රතු කැකුළු රුපියල් 100ත්, 115ත් අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, සම්බා සහල් කිලෝවක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 155ත්, 160ත් අතර මිලකට වන අතර කීරි සම්බා කිලෝවක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 215ත්, 220ත් අතර අගයකින්.