දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොරෝනා

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ වාසය කළ සිංහයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තාවනවා.

මෙම සත්වයා දින 3ක පමණ කාලයක් රෝගී තත්වයෙන් පෙළීම නිසා සිදුකළ මූලික පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ කැස්සක් සහ උගුරේ වේදනාවකින් පීඩා විඳි බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන් පසුව අදාළ සිංහයාගේ සේම පටල පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමුකර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එම පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ අදාළ සිංහයාට කොවිඩ් 19 වැළඳී ඇති බවටයි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහ දූපතේ වසර 8කට වැඩි කළක් කල් ගෙවන තෝර් නමැති මෙම සිංහයා 2012 වසරේදී දකුණු කොරියාවෙන් මෙරට ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද සත්වයෙක්.

තෝර් ගේ මෙම ආසාදිත තත්වය තහවුරු වීමත් සමඟ එම සිංහයන් භාරව සිටි රැකවලුන් තිදෙනෙකු නිරෝධායනයට යොමුකිරීමට දෙහිවල ජාතික සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර තිබෙනවා.

තෝර් සිටි සිංහ දූපත තුළ 2021 වසරේදී ම මෙරටට ගෙනඑන ලද ශීනා නැමැති සිංහ ධේනුව සහ තවත් සිංහයන් සිව් දෙනෙකුද වනවා.

එම සතුන් පිළිබඳවද PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි දෙහිවල සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර පසුගිය සති දෙකක කාලය තුල දෙහිවල සත්වෝද්‍යානයේ වාසය කළ සීබ්‍රා පැටවෙකු සහ හිපපොටේමස් සත්වයෙකු හදිසියේ මියගියා.

සත්වෝද්‍යාන බලධාරීන් සැක පළකරන්නේ ඇතැම් විට  එම සත්වයින්ට ද කොවිඩ් 19 ආසාදනය වී තිබෙන්නට ඇති බවයි.

ලොව විවිධ රටවල සත්වෝද්‍යානවල වාසය කළ සත්වයන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට වරින් වර වාර්තා පළවුනා.

අසල්වැසි ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්වෝද්‍යානයක වාසය කළ ව්‍යාඝ්‍රයෙකුටද මෙලෙස කොවිඩ් ආසදානය වූ බවට තොරතුරු වාර්තා වුනා.

කෙසේ වෙතත් දෙහිවල ජාතික සත්වෝද්‍යානය සහමුලින්ම නරඹන්නන් සඳහා විවෘත කර නොමැති අවස්ථාවක මෙලෙස සතුන් හට කොවිඩ් 19 ආසාදනය වීම බරපතළ තත්වයක් බවයි සත්ව විශේෂඥයන් පවසන්නේ.