ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමෙන් සිදු කොට ඇත්තේ ජනතාව මහ දවල් මංකොල්ල කෑමක් !

ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමෙන් සිදු කොට ඇත්තේ ජනතාව මහ දවල් මංකොල්ලකෑම කෑමක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි .

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම නිවේදනය මෙසේය…..

ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමෙන් සිදු කොට ඇත්තේ ජනතාව මහ දවල් මංකොල්ලකෑම කෑමකි.

රටේ සියලු ක්ෂේත්‍ර කඩා වැටී ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින මොහොතේ ආණ්ඩුව ජනතාවගේ  කර මත තවත් බරපතළ බරක් පැටවීම අමානුෂික ය .දුර්දාන්ත ය.

මීට එරෙහිව විපක්ෂය හැටියට අප නොනැවතී අරගල කරන අතර විෂය භාර අමාත්‍යවරයාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංගය එහි දිගුවකි.
ආණ්ඩුවේ අන්තනෝමතික  ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහි වීමට හේතු කිහිපයක්ම තිබේ.

ලොව  භයානකම ව්‍යසනයට අපේ රටද මුහුණ දී සිටින මොහොතේ ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඉන්ධන මිල ඉහළ දැමීම නොව ජනතාවට සහනයක් ලබා දීමය.

2020 වසරේදී ලොව අසීමිත ලෙස ඉන්ධන මිල පහල යද්දිත් එම වාසිය ජනතාවට  ලබා නොදුන් ආණ්ඩුට මේ මොහොතේ හෝ එය ක්‍රියාත්මක කිරීමට තිබුණි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට ඉන්ධන මිල තිබුණේ 2015 වසරේ අප විසින් ආණ්ඩුව භාරගන්නා විට තිබුණු මිලටත් වඩා අඩු මිලකිනි.නමුත් මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිට ඉන්ධන මිල අසාමාන්‍ය අගයකින් ඉහල දමා තිබේ.

පසුගිය අපේ ආණ්ඩුව වකවානුවේ ක්‍රියාවට නංවා තිබූ මිල සූත්‍රය ප්‍රකාරව කටයුතු කළා නම් ලෝකයේ ඉන්ධන මිල බරපතළ ලෙස අඩු වූ 2020 වසරේ පවා එකී වාසිය ජනතාවට අසාමාන්‍ය ලෙස ලබා ගැනීමට හැකියාව තිබුණි.

නමුත් එකී මිල සූත්‍රය අහෝසි කරන බවට පවසමින් බලයට පත් ආණ්ඩුව ඉන්ධන මිලෙන් ද ජනතාවගේ ගෙල සිර කොට තිබේ.

මේ ඉන්ධන මිල වැඩි වීමත් සමගම ඉතා ඉක්මනින් රටේ සමස්ත ක්ෂේත්‍රයන්හි මිල ඉහළ යෑම නොවැළැක්විය හැකි අතර එහි වින්දිතයින් බවට පත් වන්නේ මේ රටේ අහිංසක අසරණ ජනතාව ය.

මිල ස්ථායිකරණ අරමුදලක් ඇති කරන බව පවසමින් 2020 ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වූ වාසිය ජනතාවට ලබා නොදුන් ආණ්ඩුව අදාල අරමුදලට සිදු කළේ කුමක් දැයි යන්න පවා නිශ්චිත පැහැදිලි පිළිතුරක් රටට ලබා දී නැත.

2008 වසරේදී ඉන්ධන මිල අඩු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පවා ලබා දුන්න ද එම තීන්දුව පවා එවක ක්‍රියාවට නැංවීමට කටයුතු නොකළ ආණ්ඩුව මේ බරපතළ ව්‍යසනය මොහොතේ ජනතාවගේ ගෙල සිර කිරීමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව හි පවත්නා අමානුෂික ස්වරූපය මිස අන් කිසිවක් නොවේ.

දෙවසරක් තිස්සේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති රටක,ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් පවා අහිමිව ගොස් අන්ත අසරණ දරු පරපුරක් සිටින රටක,පොහොර අහිමි වූ ගොවියන් සුසුම් හෙළමින් සිටින රටක ,ධීවරයින්ට සිය මාළු අස්වැන්න විකුණා ගත නොහැකිව සිටින රටක ,රාජ්‍ය සේවකයින් මෙන්ම  පෞද්ගලික අංශ සේවකයින් ද අන්ත අසරණව සිටින රටක ,රැකියා අහිමි වූ තරුණ පරපුර අපේක්ෂා භංග ව සිටින රටක වගකිවයුතු ආණ්ඩුවක් හැසිරෙන්නේ මෙලෙස නම් ඊට එරෙහිව නැගී සිටීමට විපක්ෂයේ අප කිසිවිටෙකත් පසුබට නොවන බව සහතික කරමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

English Fuel Price (1)

ඉන්දන මිල- 1 (1)