කොරෝනා වෛරසය: රුසියානු එන්නත ගැන අලුත්ම වාර්තාව

අවශ්‍ය සියලුම අත්හදා බැලීම් මෙම එන්නත සමත් වී ඇති බවත් එය තමන්ගේ දියණියකට ලබා දුන් බවත් රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් පසුගිය මාසයේ දී පැවසීය

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව සොයා ගත් එන්නත මගින් මිනිස් සිරුර තුළ ප්‍රතිශක්තියක් ඇති කරවන බව රුසියානු විද්‍යාඥයෝ පවසති.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ එම එන්නත පිළිබඳව නිකුත් කර ඇති ප්‍රථම වාර්තාවේ ය. මෙම වාර්තාව The Lancet නමැති වෛද්‍ය සඟරාවේ පළ කර තිබේ.

මෙම එන්නත භාවිත කළ සියලු දෙනාගේම ශරීරය තුළ කොරෝනාවෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ වර්ධනය වී ඇති බව එම සඟරාවේ සඳහන් කර ඇත. මෙම එන්නත මගින් බරපතළ අතුරු ආබාධ කිසිවක් ඇති නොවූ බවද රුසියානු වාර්තාවේ සඳහන්ය.

මෙම එන්නත රුසියානුවන් සඳහා භාවිත කිරීමට අවසර දුන්නේ අගෝස්තු මාසයේදී ය. කොරෝනාවෛරසයට එරෙහිව එන්නතකට එවැනි අවසරයක් ලැබුණේ පළමු වතාවට ය.

නමුත් විශේෂඥයන් පවසන්නේ මෙම රුසියානු එන්නත ඵලදායී බවට සහ ආරක්‍ෂිත බවට තහවුරු කිරීම සඳහා සිදු කෙරුණු අත්හදා බැලීම් ප්‍රමාණවත් නොවන බවය. ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව තම ප්‍රතිඵල පිළිබඳව ඉතා ඉහළින් කතා කළේය.

කෙසේ නමුත් ඉතා කෙටි කාලයක් ඇතුළත මෙවැනි එන්නතක් සංවර්ධනය කිරීම පිළිබඳව ඇතැම් විශේෂඥයෝ සැක පළ කරති.

අවශ්‍ය සියලුම අත්හදා බැලීම්වලින් මෙම එන්නත සමත් වී ඇති බවත් එය තමන්ගේ දියණියකට ලබා දුන් බවත් රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් පසුගිය මාසයේ දී පැවසීය.

මෙම වාර්තාව පවසන්නේ කුමක් ද?
The Lancet සඟරාව පවසන්නේ මෙම රුසියානු එන්නත පිළිබඳව අත්හදා බැලීම් දෙකක් පසුගිය ජුනි සහ ජුලි යන මාසවල සිදු කෙරුණු බවය.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 38 දෙනෙකුට මෙම එන්නත ලබා දී ඇති අතර ඉන් සති තුනකට පසුව එහි දෙවැනි මාත්‍රාව ද ලබා දී ඇත.

වයස අවුරුදු 18ත් 60ත් අතර වන මෙම පුද්ගලයන් දින 42ක් පුරා නිරීක්ෂණයට ලක් කර තිබේ. සති තුනක කාලයක් ඇතුළත ඒ සියලු දෙනාගේ සිරුර තුළ ප්‍රතිදේහ වර්නධය වී ඇත.

බොහෝ දෙනා පෙන්නුම් කළ පොදු අතුරු ආබාධයන් ලෙස දක්වා ඇත්තේ හිසරදය සහ හන්දිපත් කැක්කුම පමණි.

කොවිඩ් 19 රෝගයට එරෙහිව මෙම එන්නතේ ඇති සඵලතාව සහ ඉන් ඇතිවිය හැකි දීර්ඝකාලීන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තවදුරටත් නිරීක්ෂණ කටයුතු පවත්වාගෙන යායුතුව ඇතැයි මෙම වාර්තාවේ සඳහන් වේ.

මෙම එන්නත තුන් වැනි අදියරේ අත්හදා බැලීම් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන, “විවිධ වයස් කාණ්ඩවලට අයත්” 40,000ක පිරිසක් යොදා ගැනීමට නියමිත ය.

රුසියානු එන්නත සඳහා යොදා ගෙන ඇත්තේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරවන adenovirus හි අනුවර්තිත මාදිලියකි.


තව බොහෝ දුරක් යා යුතුව පවතී
බීබීසී සෞඛ්‍ය වාර්තාකාරිනී, ෆිලිපා රොක්ස්බි ගේ විශ්ලේෂණයක්.

එක්සත් රාජධානියේ විද්‍යාඥයන්ගෙන් පළ වී ඇති ප්‍රතිචාර අතර, “ධෛර්යමත් කරවන සුළුයි” සහ “මේ දක්වා ඉතා හොඳයි” වැනි ප්‍රතිචාර ද පවතී. නමුත් තව බොහෝ දුර යා යුතුව පවතින බව නම් පැහැදිලිය.

අත්හදා බැලීමේ දෙවන අදියර සඳහා යොදා ගත් සියලු දෙනා තුළ ප්‍රතිශක්තිය ප්‍රතිචාර දක්වා ඇති පමණින් එම සියලු දෙනා කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වනු ඇති බවට සහතිකයක් නොමැත. එවැන්නක් තවම තහවුරු වී නොමැත.

මෙතෙක් පවතින ප්‍රතිඵල අනුව අපට කිව හැක්කේ වයස අවුරුදු 18ත් 60ත් අතර නිරෝගී පුද්ගලයන්ට මෙම එන්නත දින 42ක් පුරා ආරක්ෂා සහිත යැයි පෙනීයන බව පමණකි. ඊට හේතුව, මෙම අත්හදා බැලීම දියත් වී ඇත්තේ එතුවක් කල් පමණි.

නමුත්, කොවිඩ් 19 වඩාත් අවදානම් විය හැකි වයසින් වැඩි පුද්ගලයන් සහ වෙනත් රෝගාබාධ සහිත පුද්ගලයන් සඳහා මෙම එන්නත කෙතරම් දුරට සාර්ථක විය හැකිද?

මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයිය හැක්කේ වඩා පුළුල් වූ සහ දීර්ඝකාලීන අත්හදා බැලීම් සිදු කිරීමෙන් අනතුරුව ය. මෙම එන්නත කෙතරම් ඵලදායී වේද යන්න විද්‍යාඥයන්ට තහවුරු කර ගත හැකි වන්නේ ද වැඩි ජනගහනයක් මත සිදුවන අත්හදා බැලීමකින් පමණි.

විවෘතභාවයක් සහ විනිවිදභාවයක් සහිතව ඉහත කී අත්හදා බැලීම් සිදු කරන ලෙස ද ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.

මේ වන විට ලොව පුරා අත්හදා බැලෙමින් පවතින එන්නත්වලින් යම් එන්නතක් තවත් එන්නතකට වඩා ඵලදායී විය හැක. යම් එන්නතක් ඇතැම් මනුෂ්‍ය කාණ්ඩයකට පමණක් වැඩි ප්‍රතිඵල පෙන්විය හැක. එමෙන්ම තවත් එන්නතක් විශේෂිත වූ යම් තත්ත්වයන් හෝ වාතාවරණයන් යටතේ වඩා ඵලදායී විය හැකිය.

එහෙයින්, ඒවා කෙතරම් දුරට ක්‍රියාකාරී වේද සහ කවුරුන් සඳහා ඵලදායී වේද යන්න පිළිබඳව නිසැකවම දැන ගන්නා තුරු, සියලු දෙනා සඳහා සුදුසු විය හැකි එක් එන්නතක් ගැන බලාපොරොත්තු තැබීම දුෂ්කරය.

ලැබී ඇති ප්‍රතිචාර කෙබඳු ද?
රුසියානු එන්නත සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය ශක්තිය ලබා දුන් රුසියානු ආයෝජන අරමුදලේ ප්‍රධානියා වන කිරිල් දිමිත්‍රියෙෆ්, මාධ්‍ය හමුවකදී කියා සිටියේ “කිසිදු හේතුවක් නොමැතිව රුසියානු එන්නත විවේචනයට ලක් කරන පිරිසට මෙම වාර්තාව බලසම්පන්න ප්‍රතිචාරයක්” බවය.

මෙහි මීළඟ අදියරේ අත්හදා බැලීම් සඳහා මේ වන විටත් 3,000ක පිරිසක් බඳවා ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

රුසියාවේ සෞඛ්‍ය ඇමති මිඛායිල් මුරශ්කෝ කියා සිටියේ ලබන නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ පටන් ජනතාව එන්නත් කිරීම ආරම්භ කරනු ඇති බවය. කොවිඩ් 19යෙන් වැඩි අවදානමක් අත්විය හැකි පිරිසට මෙහිදී ප්‍රමුඛතාව ලැබෙන බව ඔහු පැවසීය.

මෙම එන්නත කෙතරම් ඵලදායී වේද යන්න විද්‍යාඥයන්ට තහවුරු කර ගත හැකි වන්නේ ද වැඩි ජනගහනයක් මත සිදුවන අත්හදා බැලීමකින් පමණි

කෙසේ නමුත් මෙම එන්නත වෙළෙඳපොලට පැමිණීමට තව බොහෝ දේ සිදු විය යුතු බවට විශේෂඥයෝ අනතුරු අඟවති.

ලන්ඩන් නුවර සිටින මහාචාර්ය බ්‍රෙන්ඩන් වෙන් ගේ අදහස අනුව මෙම වාර්තාවේ දැක්වෙන්නේ “මේතාක් ඉතා හොඳ” බවක් පමණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, කොරෝනාවෛරසයට එරෙහිව ලොව පුරා මේ වන විට සංවර්ධනය වෙමින් පවතින එන්නත් ප්‍රමාණය 176කි.

ඉන් එන්නත් 34ක් මේ වනවිට මිනිස් සිරුර මත අත්හදා බැලීම ආරම්භ කර තිබේ. එහි තුන්වන අදියරට පැමිණ ඉදිරියෙන් ම තිබෙන්නේ එන්නත් අටක් පමණි.

– BBC Singhala