ජුලි සිට සැප්තැම්බර් දක්වා එන්නත් මිලියන 17කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේදයට ලෝක බැංකුවේ ප්‍රසාදය පළවී තිබෙනවා.

එන්නත් මිලදී ගැනීමේ විනිවිදභාවය සහ ක්‍රමවත් බව හේතුවෙන් දකුණු ආසියානු රටවල සෙසු ආයතන හා සැසදීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරියෙන්ම සිටින ආයතනය ලෙස ලෝක බැංකුව හඳුනාගෙන ඇති බවයි එහි සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ සඳහා ලබාදෙන පිළිගැනීමක් ලෙස එන්නත් මිලදී ගැනීමේ දී ලෝක බැංකු වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදුකිරීමේ අවකාශය ශ්‍රී ලංකාවට හිමි වන බව ඔහු සඳහන් කළා.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදීයි මේ බව අනාවරණ කෙරුණේ.

ලබන ජුලි මස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාම්, සයිනෝවැක්, ස්පුට්නික් ඇතුළු එන්නත් මිලියන 17කට අධික ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

එම එන්නත් රට පුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළ ලබාදීමට  කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළා.

එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මෙහිදී කියාසිටියේ.

දවසේ වැඩි කාල පරාසයක් තුළදී එම රෝහල්වලින් එන්නත් ලබාගැනීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව ඔහු සඳහන් කළා.