ප්‍රංශයේ ප්‍රහාරය: නීස් නගරයේ තිදෙනෙකුට මරු කැඳවූ පිහි ඇනුම “ත්‍රස්ත ප්‍රහාරයක්”

ප්‍රංශයේ නීස් නගරයේ දී අද (ඔක්. 29) එල්ල වූ පිහි ඇනීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවට එරට පොලිසිය පවසයි.

නීස් හි නගරාධිපති ක්‍රිස්ටියන් එස්ට්‍රෝසි පැවසුවේ ලැබී ඇති තොරතුරු සියල්ල අනුව පෙන්නුම් කරනුයේ “නෝට්‍ර ඩාම් බැසිලිකා දේවස්ථානය මැද දී එල්ල වූ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක්” ලෙසින් බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
ප්‍රංශයේ නයිස්
පොලීසිය පැවසුවේ ප්‍රහාරයේදී එක් කාන්තාවකගේ ගෙල කපා දමා ඇති බවය. නගරාධිපති එස්ට්‍රෝසි මෙය “ඉස්ලාම් ෆැසිස්ට්වාදය” (islamofascism) ලෙස දක්වා ඇත. ප්‍රහාරයෙන් ටික වේලාවකට පසුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රංශයේ ජාතික ත්‍රස්ත විරෝධී නීතිඥයෝ මේ පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කළහ.

නගරාධිපති මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ සැකකරු “අල්ලාහු අක්බාර්” (දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ටයි) යනුවෙන්, අදාළ ස්ථානයේදී ඔහු සම්බන්ධයෙන් ක්‍රියා කරන විට නොකඩවා හඬ නගා ඇති බවය.

නගරාධිපති එස්ට්‍රෝසි පැවසූ පරිදි ඝාතනයට ලක්වූවන්ගෙන් එක් අයෙකු බැසිලිකාවේ භාරකරු වේ. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ බැතිමතුන් දේවස්ථානය තුළ සිටි පසුව දැනගන්නට ලැබිණි. නගරය විසින් ස්ථාපනය කරනු ලබා ඇති විශේෂ ආරක්ෂණ පද්ධතියක් සමඟ ඇති අනතුරු ඇඟවීම හැඬවීමට එක් සාක්ෂිකරුවෙකු සමත් වී ඇති බව පසුව අනාවරණය විය.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට බලාත්මක වන කොවිඩ් -19 අගුළු දැමීමේ ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය ෂොන් කැස්ටෙක්ස් විස්තර සපයමින් සිටියදී, සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කළේය.

“කිසිදු සැකයකින් තොරව මෙය අපේ රටට බලපාන ඉතා බරපතල නව අභියෝගයක්,” බව පැවසු අග්‍රාමාත්‍යවරයා, එක්සත්කම සහ සහජීවනය ද මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රංශයේ මුස්ලිම් ඇදහිල්ල පිළිබඳ කවුන්සිලය නීස් නගරයේ සිදුවූ පිහියෙන් ඇනුම හෙළා දුටු අතර වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් සමඟ මේ අවස්ථාවේදී සහයෝගිතාව බෙදාගන්නා බව සදහන් කළේය.

මෑත වසර කිහිපය තුළ එල්ල වූ දරුණුතම ප්‍රහාරයකට මෙම නීස් නගරය මීට පෙර ඉලක්ක විණි. 31 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙක් 2016 ජූලි 14 වන දින බැස්ටිල් දිනය සමරමින් සිටි සමූහයක් වෙත ලොරි රථයක් පදවාගෙන ගොස් 86 දෙනෙකු ඝාතනය කළේය.

එයට දින කිහිපයකට පසු රූන්හි දේවස්ථානයක උදෑසන දිව්‍ය පුජාව පවත්වමින් සිටි පූජකවරයෙකු වූ ජාක් හැමෙල් පියතුමා ගේ උගුර කපා දැමීය.

බ්‍රහස්පතින්දා ප්‍රහාරයෙන් දෝංකාර දෙනුයේ මේ මස මුලදී එල්ල වූ තවත් ප්‍රහාරයකි. පැරිසියේ වයඹ දෙසින් පිහිටි පාසලක් අසලදී ගුරුවරයෙකු වූ සැමුවෙල් පැටිගේ හිස ගසා දමා දිබියදී හමුවුයේ ඔහු මුහම්මද් නබිතුමා පිළිබඳ මතභේදාත්මක කාටූන් ඔහුගේ ඇතැම් සිසුන්ට පෙන්වීමෙන් දින කිහිපයකට පසුවය.

මෙම ඝාතනය ප්‍රංශයේ උණුසුම් තත්ත්වය ඉහළ නැංවූ අතර රැඩිකල් ඉස්ලාමය මැඩපැවැත්වීමට එරට රජය ගන්නා උත්සාහය තුර්කිය හා අනෙකුත් රටවල කෝපයට හේතු වී තිබේ.

ප්‍රහාරයෙන් පසු බැසිලිකාව අවට ප්‍රදේශය මුද්‍රා තබන ලදි
ඡායාරූප ශීර්ෂ වැකිය,ප්‍රහාරයෙන් පසු බැසිලිකාව අවට ප්‍රදේශය මුද්‍රා තබන ලදි

තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොවාන් ප්‍රංශ භාණ්ඩ වර්ජනය කරන ලෙස ඉල්ලා තිබේ.

තුර්කි ජනාධිපති එර්ඩොවාන් පිළිබඳ කාටූනයක් චාලි හෙබ්ඩෝ නමැති උපහාසාත්මක සඟරාවේ පළවීමෙන් පසු තත්ත්වය වඩාත් නරක අතට හැරුණි.