ජනපති දළඳා සමිඳුන් වැඳපුදා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (26) පස්වරුවේ මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ දියවඩන නිලමේ නිලංග දෑල විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබූ බවයි.

පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් බැහැදුටුවේ උන්වහන්සේගේ සුවදුක් විමසීමටයි.

අනතුරුව, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැදුටු අතර අනුනාහිමියන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකෙරෙන සංඝාවාසය ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.

එමෙන්ම, මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්ද බැහැ දුටුවා.

මෙහිදී ජනාධිපතිවරයා රටේ වර්තමාන දේශපාලන, සමාජ සහ ආර්ථික තොරතුරු රැසක් පිළිබඳවද මහානායක සහ අනුනායක ස්වාමින් වහන්සේලාට කරුණු පැහැදිලි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.