ගිනිගත් මෙසීනා නෞකාව මෙරට ගලවා ගැනීමේ කලාපයෙන් පිටතට

කොළඹ වරායේ සිට සිංගප්පුරුව බලා ගමන් කරමින් තිබියදී එන්ජින් කාමරයේ ගින්නක් හටගත් එම්.එස්.සී. මෙසීනා නම් බහාලු‍ම් නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාව සම්බන්ධීකරණය කරන සෙවීම් හා ගලවා ගැනීමේ කලාපයෙන් පිටතට රැගෙන ගොස් ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

සිංගප්පූරුවට අයත් ටී.සී. විගර් නම් ටග් යාත්‍රාවෙන් ඇදගෙන යන එම නෞකාව ඊයේ පස්වරුව වනවිට පැයට නාවික සැතපුම් 4.6 ක වේගයෙන් ගමන් කරමින් තිබූ බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නැගෙනහිර මුහුදේ කිරින්ද මහාරාවණ ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480 ක් දුරින් යාත්‍රා කරමින් තිබියදී මෙම නෞකාවේ එන්ජින් කාමරයේ පසුගියදා ගින්නක් හට ගත්තා.

ඊයේ (26)  උදෑසන වනවිට නෞකාවේ ගින්න පාලනය කෙරුණු අතර එය සිංගප්පුරුව දෙසට රැගෙන යනු ඇති.