විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට අදාල නිරෝධායන රෙගුලාසි

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට අදාල නිරෝධායන රෙගුලාසි යළිත් සංශෝධනය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර ඇති නව‍ රෙගුලාසි ජූලි මස පළමුවැනිදා සිට 31 වැනිදා දක්වා බලපැවැත්වේ.

ඒ අනුව එන්නත්කරණය අවසන් නොකර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් මෙරටට පැමිණෙන දිනයේදී PCR පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරේ. ඒ සඳහා ඔවුන් නිරෝධායන හෝටලයකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකරන අතර දින 11 කට පසුව නැවත සිදු කරන PCR පරීක්ෂණයේදී ආසාදිතයෙකු නොවන බව තහවුරු වේ නම් සති දෙකක නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් පසුව සාමාන්‍ය සමාජය වෙත යොමු කෙරේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එන්නත්කරණය අවසන් කර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට PCR පරීක්ෂණයෙන් අනතුරුව සති දෙකක නිවෙස් නිරොධායනය ප්‍රමාණවත් වේ. දින 14 කට පසු සිදු කරන දෙවැනි PCR පරීක්ෂණයේදී ඔවුන් ආසාදිතයන් නොවන බව තහවුරු වන්නේ නම් නිරෝධායනයෙන් මුදාහැරෙනු ඇත.

මීට අමතරව අනුමත රාජ්‍යතාන්ත්‍රික සාමාජිකයන් හෝ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් මෙරටට පැමිණීමේදීද දින 14 ක නිරෝධායනය අනිවාර්ය වන අතර සෞඛ්‍ය බළධාරීන් විසින් අනුමත කරන නිවස්නයක හෝ හෝටලයක රැඳී සිටිය හැකිය. දින 14 අවසානයේදී සිදුකරන PCR පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් නිරෝධායනයෙන් මුදාහැරේ.

මෙරටට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු දින 14 ක නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කිරීම අනිවාර්ය වන අතර ගුවන් තොටපුලින් පිටවීමට පෙර සහ නිරෝධායන කාල සීමාව අවසන්වීමට පෙර PCR පරීක්ෂණ දෙකක් සිදු කෙරේ.