පාර්ලිමේන්තු අර්බුදය ගැන සොයන කමිටු වාර්තාව ලබන සතියේ කථානායකවරයාට

2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ගත යුතු පියවරයන් නිර්දේශ කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ කථානායකවරයා වෙත පිළිගැන්වීමට නියමිතයි.

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව ඊයේ රැස්වූ අතර එහිදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඉම්තියාස් බාකීර් මාකර්, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, එම්. ඒ. සුමන්තිරන්.

අප්‍රේල් 21 වැනිදා ඇති වූ ආකාරයේ අර්බුදකාරී වාතාවරණයක් නැවත පාර්ලිමේන්තුව තුළ ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පසුගිය අප්‍රේල් 23 වැනිදා මෙම කමිටුව පත් කරනු ලැබුවා.

ඒ අනුව මෙවැනි සිදුවීම් තුළින් සමස්ත පාර්ලිමේන්තුවටම සිදු විය හැකි අහිතකර තත්ත්වය දීර්ඝ වශයෙන් සළකා බැලූ කමිටුව, ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වාලීමට පාර්ලිමේන්තුවක් ලෙස  ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන පියවර ද සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් වන පූර්ණ වාර්තාව ඉදිරි සතියේදී කථානායකවරයාට ඉදිරිපත් කිරීමට නියමිතයි.