නොරොච්චෝලේ සුදුවෑන් පැහැර ගැනීම: හමුදා සාමාජිකයන් 04 ක් අත්අඩංගුවට

නොරොච්චෝලේ ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ පැහැරගැනීමට අදාලව යුද හමුදා සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, වැඩබලන ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. යුද හමුදා පොලීසිය මගින් අදාල යුද හමුදා සාමාජිකයන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත බාරදී තිබෙනවා.

යුද හමුදා නිළ ඇඳුම්වලට සමාන ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පිරිසක් විසින් සුදුවෑන් රථයකින් පැමිණ අදාල පැහැරගැනීම සිදුකර තිබූ අතර පැහැරගත් පුද්ගලයාට අමානුෂික ලෙස පහර දී මුහුදු වෙරළේ අතහැර ගොස් තිබියදී පැය කිහිපයකට පසුව සොයා ගැනිණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නොරොච්චෝලේ පොලීසිය වෙත ලැබුණු පැමිණිල්ලට අදාලව සිදුකළ විමර්ශනවලදී මෙම පැහැරගැනීමට යුද හමුදා සාමාජිකයන්ගේ සම්බන්ධයක් තිබෙන බවට අනාවරණය වූ බවත් ඒ අනුව ඒ පිළිබඳව යුද හමුදා පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කළ බවත් අජිත් රෝහණ මහතා පවසනවා.

සේරුනුවර කල්ලාර් කඳවුරේ සේවය කරන යුද හමුදා කපිතාන්වරයෙක්, කෝප්‍රල්වරයෙක් සහ ලාන්ස් කෝප්‍රල්වරුන් ‍තිදෙනෙකු යුද හමුදා පොලීසිය විසින් නොරොච්චෝලේ පොලීසිය වෙත බාරදී ඇති බවත්, සැකකාර හමුදා සාමාජිකයන් සිව් දෙනා අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.