PCR කර තිබියදී බිරිඳ සමඟ කාසල් රෝහලේ සායනයට ගිය අයට කොරෝනා..

PCR කර තිබියදී බිරිඳ සමඟ කාසල් රෝහලේ සායනයට ගිය අයට කොරෝනා…. ආශි‍්‍රතයෝ 79 ක් ස්වයං නිරෝධායනයට

PCR පරීක්ෂණයකට ලක්ව සිටියදී සිය ගැබිනි බිරිඳ සමග කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ සායනයකට සහ වෙළෙඳ සල් කීපයකට ගිය බව කියන පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළිවූ බව කහතුඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. සමරසේකර මහතා ‘දිවයින‘ ට පැවැසීය.

ඒ අනුව, ඔහු ගමන් කළ මත්තේගොඩ ප‍්‍රදේශයේ දෙමහල් තොග භාණ්ඩ අලෙවිසල් දෙකක් ඇතුළු වෙළෙඳ ආයතන තුනකට මුද්‍රා තබා නිවාස පහක පුද්ගලයන් විසිනව දෙනකුද, ආසාදිතයා සේවය කළ ස්ථානයේ පනස් දෙනකු ඇතුළු ආශ‍්‍රිතයන් හැත්තෑනව දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකළ බවද හෙතෙම කියා සිටියේය.

මත්තේගොඩ, බණ්ඩාරනායකපුර පදිංචි මෙම කොරෝනා ආසාදිතයා වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ භාණ්ඩ අපනයන සමාගමක තොග ගබඩාවේ සේවය කරන අයකු බවත්, ඉකුත් 27 වැනිදා එම සමාගම විසින් මොහුට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී මොහුට කොරෝනා ආසාදනය වී ඇති බවත් හෙළිවී තිබේ.

මේ අතර, මොහු සිය ගැබිනි බිරිඳ සමග 28 වැනිදා කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ සායනයකටද සහභාගි වී ඇති අතර, පසුව ඔහු මත්තේගොඩ ප‍්‍රදේශයේ තොග භාණ්ඩ අලෙවිසල් තුනකටද ගොස් ඇති බවත් හෙළිවී තිබේ.

කොරෝනා ආසාදිත මෙම පුද්ගලයා සිය බිරිඳ සමග කාසල් රෝහලට ගියද ඔහු යතුරුපැදිය මතම හිඳ ඇති අතර, රෝහල තුළට ගොස් නොමැති බැවින් එදින රෝහලට පැමිණි ගැබිනි මව්වරුන් හෝ රෝහල් කාර්ය මණ්ඩලය හෝ කිසිවකු බිය විය යුතු නැතැයි ද ඒ මහතා සඳහන් කළේය.

29 වැනිදා උදෑසන ආසාදිතයාගේ ගැබිනි බිරිඳ ඇගේ මීගොඩ ප‍්‍රදේශයේ පිහිටි නිවසේ නවතාලීම සඳහා යතුරුපැදියෙන් ගොස් තිබේ. පසුව මොහු ඇයව එම නිවසේ නවත්වා නැවත වැල්ලම්පිටියේ සේවා ස්ථානය කරා යමින් සිටියදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට දුරකථන ඇමතුමක් ලැබී ඇතැයි ද හෙළිව තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!