කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි අණුවක් සොයා ගැනීම වෙනුවෙන් සම්මාන දිනූ 14 හැවිරිදි සිසුවිය
වයස අවුරුදු 14 ක් වුවත්, ඇය දැනටමත් කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීමේ තරගයට එක් වෙලා.
ටෙක්සාස් ප්‍රාන්තයේ ෆ්‍රිස්කෝහි පාසල් සිසුවියක වන අනිකා චෙබ්‍රොලු නව කොරෝනාවෛරසයට සම්බන්ධ කළ හැකි සහ එය මිනිසුන්ට ආසාදනය වීමේ හැකියාව වළක්වන අණුවක් සොයාගෙන.
මෙම විද්‍යාත්මක සොයාගැනීම හේතුවෙන් අනිකා චෙබ්‍රොලුට 2020 තරුණ විද්‍යාඥයින්ගේ අභියෝගතා තරගයෙන් “එක්සත් ජනපදයේ ඉහළම තරුණ විද්‍යාඥයා” යන පදවි නාමය හිමිවුණා. ඒ වෙනුවෙන් ඇයට ඇමරිකානු ඩොලර් 25,000ක ත්‍යාගයක් පිරිනැමුණේ 3M නම් බහුජාතික සමාගමේ අනුග්‍රහයෙන්.
එය කීර්තිමත් වාර්ෂික ජාතික උත්සවයක් වන අතර අනාගතයේ විද්‍යාඥයන් වීමට බලාපොරොත්තු වන අවුරුදු 10 ත් 14 ත් අතර වයස්වල පසුවන සිසුන්ට විශ්ව විද්‍යාල කීපයකින් නිර්දේශ කෙරෙනවා. තරගකරුවන්ට පැවරෙන්නේ එදිනෙදා ගැටලුවකට විසඳුම් පැහැදිලි කරන කෙටි වීඩියෝවක් ඉදිරිපත් කිරීමයි.
නමුත් අනිකාගේ සොයාගැනීම හරියටම කුමක්ද? ඇය එය සිදු කළේ කෙසේද?
ප්‍රධාන ප්‍රෝටීන්
කොවිඩ් -19ට හේතු වන SARS-CoV-2 වෛරසය වටා පෙනෙන්නට තිබෙන්නේ ඔටුන්නක් වැනි හැඩයක්. කොරෝනාවෛරස් යන නම සැදීමට පසුබිම් වුයේ ද එයයි. (කොරෝනා යනු ඔටුන්න සඳහා ලතින් වචනයයි).
මෙම ඔටුන්නෙහි ඇති උල් හැඩැති ප්‍රෝටීන (ප්‍රෝටීන් එස්) අපගේ සෛලවල ප්‍රතිග්‍රාහකවලට එකතු වී ඒවා ආසාදනය කරයි.
මේ හේතුව නිසා, කොවිඩ් -19 ට එරෙහිව එන්නත් නිපදවීමට උත්සාහ කරන බොහෝ විද්‍යාගාර, වෛරසය අපගේ සෛල තුළට විනිවිද යාම වැළැක්වීමේ ක්‍රමයක් ලෙස අදාළ ප්‍රෝටීන බිඳ දැමීමේ ක්‍රියාවලිය තෝරාගෙන.
අනිකා චෙබ්‍රෝලුගේ පර්යේෂණය ද වෛරසයේ මෙම ප්‍රධාන ප්‍රෝටීනය මත පදනම් වනවා.
“වෛරසයේ ඇති ප්‍රෝටීන් එස් සමඟ බැඳෙන්නත් සහ එහි හැඩය සහ ක්‍රියාකාරිත්වය වෙනස් කරන්නත් හැකියාවක් ඇති අණුවක් මම සොයා ගත්තා” යැයි බීබීසී වෙත ඊමේල් පණිවුඩයක් එවමින් අනිකා චෙබ්‍රෝලු පැහැදිලි කළා.
“වෛරසය මිනිස් සෛලවලට සම්බන්ධ වීම වැළැක්වීමට සහ එම නිසා පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති වන ආසාදන අවම කිරීමට හෝ එයට ප්‍රතිකාර කිරීමට” ඇති හැකියාව සඳහා මෙය වැදගත් වන බව ඇය තවදුරටත් කියා සිටියා.
අනිකා චෙබ්‍රෝලු මෙම අණුව සොයාගත්තේ ‘ඉන් -සිලිකෝ’ ක්‍රමය අනුගමනය කරමින්. එනම්, විවිධ මෘදුකාංග මෙවලම් භාවිත කර සිදු කරන පරිගණක සමාකරණයක් හරහායි.
ඇය මෙය සිදු කළේ කුඩා අණු මිලියන ගණනක අවශෝෂණය, ව්‍යාප්තිය, පරිවෘත්තිය හා බැහැර කිරීම (ADME) වැනි ගුණාංග පරීක්ෂා කිරීමෙන්.
මෙම අධ්‍යයනයෙන් පසුව, SARS-CoV-2 වෛරසයේ එස් ප්‍රෝටීනවලට හොඳම ඖෂධීය සහ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සහිත අණුව අනිකා චෙබ්‍රෝලු තෝරා ගත්තා. රෝගයට ඵලදායී ලෙස ප්‍රතිකාර කළ හැකි ඖෂධයක් බවට මෙය පසුව පරිවර්තනය කළ හැකියි.
පෙර විමර්ශනය
අනිකා චෙබ්‍රෝලු ෆ්‍රිස්කෝහි නෙල්සන් පාසලේ සිය පර්යේෂණ ආරම්භ කළේ කොරෝනාවෛරස වසංගතය පුවත් සිරස්තලවලට පැමිණීමට පෙරයි.
“මීට වසර කීපයකට කලින්, මම පාසල් ව්‍යාපෘතියක් වෙනුවෙන් 1918 ස්පාඤ්ඤ උණ වසංගතය ගැන සොයා බැලුවා. වෛරස් හා ඖෂධ සොයා ගැනීම ගැන මට දැඩි කැමැත්තක් ඇති වුණා,” ඇය පැවසීය.
මෙම පර්යේෂණයේ යෙදෙන අතරතුර ඇයට ඉන් සිලිකෝ ක්‍රමවේදය ගැන දැනගන්න ලැබුණා.
“රෝගයට එරෙහිව සටන් කරන ඖෂධ වැනි අණු හඳුනාගෙන සංවර්ධනය කරන්න අපට පරිගණක ක්‍රම භාවිත කරන්න පුළුවන් කියලා දැනගත් පසු මම පුදුමයට පත් වුණා,” යි ඇය පැවසුවා.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ hemagglutinin ප්‍රෝටීන සමඟ සම්බන්ධ විය හැකි ප්‍රධාන සංයෝගයක් හඳුනා ගැනීමට ඇය පසුගිය වසරේදී මෙම ක්‍රමයම භාවිතා කළ බව ද පැවසුවා.
“වසංගත, වෛරස් සහ ඖෂධ පිළිබඳව මෙතරම් කාලයක් පර්යේෂණ කිරීමෙන් පසුවත්, අප සැබවින්ම වසංගතයකට ගොදුරු වී ඇතැයි සිතීම පිස්සුවක්!” ඇය සඳහන් කළා.
වසංගතයේ බරපතලකම සහ වසරකට අඩු කාලයකදී එය ලෝකයට ඇති කළ ප්‍රබල බලපෑම සැලකිල්ලට ගත් අනිකා, අයගේ උපදේශක, 3M සමාගමේ විද්‍යාඥවරියක වන මහ්ෆුසා අලිගේ ද සහාය ඇතිව සිය ආරම්භක ව්‍යාපෘතියේ දිශාව වෙනස් කර SARS-CoV-2 වෛරස් ප්‍රෝටීන් එස් ගැන පරීක්ෂණ ඇරඹුවා.
2019 දෙසැම්බර් මස චීනයේ වූහාන් නගරයේ පළමු මරණය වාර්තා වීමෙන් පසු, 2020 ඔක්තෝබර් 28 වන විට කොවිඩ් -19 වෛරසය ලොව පුරා බිලිගත් ජීවිත ගණන මිලියන 1.1 කට අධිකයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ එක්සත් ජනපදයෙන්. එය 226,000 කට ඉක්මවනවා.
වැඩිදුර අධ්‍යයන
විද්‍යාඥයන් පවසන්නේ අනිකා චෙබ්‍රොලුගේ ජයග්‍රහණය තමන් සාදරයෙන් පිළිගන්නා නමුත් කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීමට මෙම අණුව උපකාරී වේද යන්න දැන ගැනීමට තව දුරටත් අධ්‍යයන අවශ්‍ය බවයි.
“මම හිතන්නේ අනිකා චෙබ්‍රොලු මෙම විශ්ලේෂණය සිදු කිරීම පුදුම සහගතයි. ඇයගේ අධ්‍යාපන මට්ටම අනුව මේ සිදු කළ දේ නිසැකවම ආකර්ෂණීය උසස් දෙයක්. නිසැකවම ඇයට විශිෂ්ඨ විද්‍යාඥයෙකු වීමේ හැකියාව තිබෙනවා” යැයි කොලොම්බියානු විශ්ව විද්‍යාලයට අනුබද්ධිත නිව්යෝක්හි පිහිටි මේල්මෑන් මහජන සෞඛ්‍ය පිළිබඳ විද්‍යාලයේ වෛරස් පිළිබඳ විද්‍යාඥවරියක වන ඇන්ජෙලා රස්මුසන් පැවසුවා.
“කොහොමවුණත්, මෙම ක්‍රමෝපායන් චිකිත්සක විභවයන් සහිත සංයෝග හඳුනා ගැනීමට හොඳ වුණත්, ඔවුන් හඳුනාගත් අණුව ඇත්ත වශයෙන්ම වෛරසය ඇතුල්වීම හෝ ප්‍රතිගුණනය වීම කෙරෙහි බලපෑමක් ඇති කරයි ද යන අදහසට සහය දක්වන්න පර්යේෂණාත්මක දත්ත නැති බව සැලකිල්ලට ගැනීම වැදගත්. ඒ වගේම එය සැබෑ තත්ත්වයන් යටතේ ප්‍රෝටීන් එස් හා සම්බන්ධ වෙනවා ද කියන දෙයත් බැලිය යුතුයි,” විශේෂඥවරිය බීබීසී සමග පැවසුවා.
“ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් ලෙස අණුවේ විභවය වඩා හොඳින් හඳුනාගැනීමට රසායනාගාර අධ්‍යයන අවශ්‍ය වෙනවා.”
හඳුනාගත් අණුවට වෛරසයේ එස් ප්‍රෝටීන සමඟ ඵලදායී ලෙස බන්ධනය විය හැකිදැයි දැන ගැනීමට තවත් රසායනාගාර පරීක්ෂණ අවශ්‍ය බව, බීබීසී සේවය කළ විමසීම්වලදී අනෙකුත් විශේෂඥයින් ද කියා සිටියා.
හුදකලා පටක, අවයව හෝ සෛල පරීක්ෂා කිරීම (vitro validations) මගින් සහ පසුව ජීවීන් මත පරීක්ෂණ (vivo) සිදු කිරීම මගින් සනාථ වුවහොත්, මෙම අණුවට ශරීරයේ වෛරසය ආසාදනය වීමේ පළමු පියවර වළක්වා ගන්නට හැකියි.
අනාගත සැලැස්ම
ඇමරිකාවේ ඉහළම තරුණ විද්‍යාඥයා සම්මානයෙන් ඇය දිනාගත් මුදල් ආයෝජනය කිරීමට ස්ථිර සැලැස්මක් ඇති බව අනිකා පවසනවා.
“ඩොලර් 25,000 මගේ පර්යේෂණ දිගටම කරගෙන යාමට වගේම වෘත්තීන් හා අවස්ථාවන් හඹා යෑමට සහය වීම වෙනුවෙන්, උපකාර අවශ්‍ය ළමුන්ට ද්‍රව්‍ය හා උපකරණ සපයන මගේ ලාභ නොලබන සංවිධානය වන ඇකඩමිඒඩ් (AcademyAid) සඳහා ද ඒ මුදල් යෙදීමට මම සැලසුම් කරනවා.”
“ඉතිරි මුදල් විද්‍යාලයට ගෙවීම සඳහා ඉතිරි කිරීමට ද මම සැලසුම් කරනවා.”
විද්‍යාව ගැන උනන්දුවක් දක්වන අනෙක් යෞවනයන්ට ඇය පවසන්නේ කුමක්දැයි ඇසූ විට, ඔවුන් නිතරම ගවේෂණාත්මක ලෙස සිටිය යුතු යැයි ඇය නිර්දේශ කළා.
“ප්‍රශ්න ඇසීමටත්, ඔබ ගැන විශ්වාසය තැබීමටත් නිතර මතක තබා ගන්න. ඔබේ හොඳම හැකියාවන් සමඟ ඔබ දකින ඕනෑම අවස්ථාවකින් ප්‍රයෝජන ගැනීමට වග බලා ගන්න. ඔබ නවතින්නේ කොතැනින්දැයි කියා කිව නොහැකි වීම එයට හේතුවයි.”
- https://www.bbc.com/