නව කැළණි පාලම එල්ලෙන පාලමක් ලෙස සම්බන්ධ කෙරේ…

ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැළණි පාලමේ කැළණි ගග හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට් පාලම් කොටසේ ඉදිකිරීම් අවසන් කර පාලම යාකිරීම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ සුරතින් සිදු කෙරිණි.

මෙහිදී ගංඉවුරු දෙක හරහා ආරම්භ කල ඉදිකිරිම් අවසන් කර පාලම යා කිරිම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට නවීන ඉංජිනේරු තාක්ෂණයෙන් සමන්විත අධි තාක්ෂණික කේබල් මත මෙම නව කැළණි පාලම ඉදිකර ඇත. කල්පවත්නා අධි තාක්ෂණික රැහැන් සහ ගංඉවුර මත දෙපසට විහිදෙන විශාල කුළුණු 2 ක් මගින් ප්‍රධාන පාලමේ බර දරා සිටින ආකාරයට, දෙපසට සමාන බර ලැබෙන පරිදි මෙම පාලම නිර්මාණය කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙහිදී අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා…

මෙම නව කැලණි පාලම් ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති සහ මහාමාර්ග ඇමතිවරයා ලෙස 2014 වර්ෂයේදී මූලික සැලසුම් සකස් කරලා ගිවිසුම් අත්සන් කරපු ව්‍යාපෘතියක්. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතන කථාවේදී පැහැදිලිවම කිව්වා මෙම නව කැලණි පාලම ඊළඟ මාස කීපයක් ඇතුළත විවෘත කරනවා කියලා. ජනාධිපතිතුමා එසේ පවසන විට යහපාලන ආණ්ඩුවේ හිටපු මහාමාර්ග ඇමතිතුමා මේක අපි ගෙනාපු ව්‍යාපෘතියක් කියලා කියනවා. ඇත්ත වශයෙන්ම මේ වගේ දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී තමයි පටන් ගත්තේ. නිදහසින් පසුව මේ රටට දැවැන්ත සංවර්ධනයක් ගෙනාවෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා ලෙස හිටපු කාලෙදී කියන එක අපි පිළිගන්න ඕන. ඒ ගෞරවය එතුමාට හිමි විය යුතුමයි. ඒ ගෞරවයට වෙන කවුරුත් තමන්ගේ නම් ගහගන්න ගියාට ඒක හරි යන්නේ නැහැ. මට මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩ ආරම්භ කරපු පිටත වටරවුම් මාර්ගය යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් ගොස් විවෘත කිරීමට පෙර සාමාන්‍ය කාන්තාවක් ගොස් විවෘත කරනු ලැබුවා. අද අපි සතුටු වෙනවා ලබන අගෝස්තු මස අවසානයේදී මේ නව කැළණි පාලම් ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කරලා මේ රටේ ජනතාවට සැප්තැම්බර් මස මුල් සතිය තුළ මාර්ගය භාවිතා කිරීමට විවෘත කරන්න හැකිවේවි කියලා.

මුළු ලෝකයම කොවිඩි වසංගතයට මුහුණ දීලා තියෙන කාලයක ජපන් ජාතික ඉංජිනේරුවන්, අපේ රටේ ඉංජිනේරුවන් සහ අනෙකුත් නිලධාරීන්, සේවකයින් තමන්ගේ ජීවිත ගැන පවා නොසිතා ජීවිත අවදානමක් ගෙන දැවැන්ත කැප කිරිමක් කරලා හදපු පාලමක් ලෙසට මෙම පාලම ඉතිහාසගත වෙනවා. ඊළඟ අවුරුදු සියය නෙමෙයි තව අවුරුදු එකසිය විසිපහක් විතර මේ රටේ මතු පරම්පරාවට මේ ගැන කතා කරන්න ඉඩ ලැබෙන ව්‍යාපෘතියක් හැටියට මෙම ව්‍යාපෘතිය මම දකිනවා. මම මේ රටේ ජනතාවට කියනවා අපි රජයක් හැටියට කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් නතර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පහුගිය යහපාලන ආණ්ඩුව කරපු ලොකුම වැරැද්ද තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මඩ ගහලා බලයට ඇවිල්ලා එතුමා මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ රටේ අනාගතය වෙනුවෙන්, තව ශතවර්ෂයකට ඔබින විදිහට සැලසුම් සකස් කරපු ව්‍යාපෘතීන් නතර කෙරුවා. එක තමයි ඔවුන්ගේ පරාජයට මූලික හේතුව වුනේ. යහපාලන ආණ්ඩුව මුලින්ම නතර කෙරුවෙ වරාය නගර ව්‍යාපෘතියයි. මේ ව්‍යාපෘතියත් යම් පමා කිරීමක් කරලා තිබුණේ. එහෙම නොවුණා නම් මේවා මීට කලින් වැඩ අවසන් කරලා ජනතා අයිතියට පත් කරන්න තිබුණු ව්‍යාපෘති. ඒ නිසා අපේ රජය කිසිසේත්ම මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ බය නැතුව ඉදිරි ගමන සඳහා ගන්නවා.

අපිට විපක්ෂය පහර දෙනවා අපි චීනෙත් එක්ක විතරයි වැඩ කරන්නේ කියලා. අපි චීනෙත් එක්ක විතරක් නොවෙයි ජපානෙත් එක්කත් වැඩ කරනවා. බ්‍රිතාන්‍යය එකත් වැඩ කරනවා. ඒ වගේම මේ රටේ සංවර්ධන ව්‍යාපෘති සදහා ලෝකයේ විවිධ රටවල් වලින් ආයෝජනය කරල තියනවා. ඒ නිසා චීනය විතරක් අල්ලගෙන අපිට පහර දෙන්නේ මෙම ව්‍යාපෘතීන් නතර කරන්න. ඒක තමයි ඇත්ත. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා, නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මැතිතුමාත් මෙම ව්‍යාපෘතිය කවදද අවසන් වෙන්නේ කියලා උවමනාවෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා මම මේ වෙලාවේ ජනතාවට කියනවා ඔබ බලාපොරොත්තු වුණ දියුණු රට අනිවාර්යෙන්ම අපි නිර්මාණය කරනවා කියලා. ඊළඟ ශතවර්ෂය සඳහා මේ රට නියම මාර්ගයට ගෙනියන්න පුළුවන් විදිහට අපි මේ රට හසුරවනවා. කොවිඩ් අර්බුදය අපේ රටේ පවතින වෙලාවේදි අපිට මොන තරම් මඩ ගැහුවත්, මොනතරම් ප්‍රශ්න ඇති කරන්න හැදුවත්, මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග මේ රජය රටේ ජනතාව ආරක්ෂා කරගන්න එන්නත්කරණ වැඩසටහන ඉදිරියට ගෙනයන බව. මොන තරම් අපිට නින්දා අපහාස කෙරුවත්, නින්දා අපහාස විඳිමින් අපි වෙනුවෙන් ඡන්දය ලබා දුන්න නොදුන්න රටේ සමස්ත ජනතාවට සාධාරණත්වය ඉෂ්ට කරනවා. මේ රට අපි ඉදිරියට ගෙනියනවා. රට වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග සෘජුවම අපි ගන්නවා. මේ රටේ කිසිදු බුද්ධිමත් පුද්ගලයෙකු මෙවැනි වසංගතයක් ඇති අවස්ථාවක උද්ඝෝෂණයක් කරන්න කල්පනා කරන්නේ නැහැ. බුද්ධිමත් දේශපාලන පක්ෂ නායකයෙක් කවදාවත් උද්ඝෝෂණ වලට උදව් කරන්න යන්නේ නැහැ. ඒවාට අනුබල දෙන්න යන්නේ නැහැ. අපේ රටේ කොවිඩ් නිසා දවසකට දාහක් දෙදහක් මැරෙනවා කියලා කියපු නායකයන්ටත් අන්තිමේදී කොවිඩ් හැදුනා. ඒක තමයි ඇත්ත තත්ත්වය. මැතිවරණයක් පේනතෙක් මානයක නැති නිසා වගකියන දේශපාලනඥයෙක් හැටියට මේ රටේ මිනිස්සුන්ව පාරට බස්සලා තමන්ගේ දේශපාලන වුවමනාකම් පිරිමහගන්න අහිංසක ජනතාව බිල්ලට දෙන්න එපා කියලා. ඒක අපි පැහැදිලිව කියනවා.

මෙහිදී අදහස් දැක්වූ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා…

ලංකාවේ පළමු වතාවට ඉදිවන කේබල් මතින් එල්ලෙන මෙම පාලම ඉදිකිරීමෙන් පසු දීර්ඝ කාලයක් තිස්සේ පැවති රථවාහන තදබදය අවම කිරීමට හැකියාව ලැබෙනවා. කොළඹ වරාය නගරය, බත්තරමුල්ල ප්‍රදේශයේ පරිපාලන නගරය, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, අනෙකුත් අධිවේගී මාර්ග ජාලය සම්බන්ධ වන ස්ථානයක් තමා මෙම ස්ථානය. මෙය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු කොළඹ නගරයට ඇතුල්වන හා පිටවන ජනතාවට විශාල කාලයක් ඉතිරි කර ගැනිමට හැකි වෙනවා. එමෙන්ම පරිසර දූෂණයද විශාල ලෙස අඩුවීමක් සිදු වනවා.

නව තාක්ෂණය හා අලුත් ක්‍රමවෙිද උපයෝගී කොටගෙන මෙම පාලම ඉදිකිරීම් සිදු කර තිබෙනවා. නව තාක්ෂණය සහිත අලුත් ක්‍රමවේදයන් උපයෝගි කොටගෙන මෙම පාලම ඉදිකිරීම සදහා දායකත්වය ලබා දීම ගැන ජපාන රජයට ස්තූතිය පළ කර සිටිනවා.

මෙම පාලම ඉදිකිරීමේ කටයතු වලට පාස්කු ප්‍රහාරයෙන් වගේම කොවිඩ් වසංගතයෙන් බලපෑම් එල්ලවුනා. නමුත් මේ කටයුතු සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබුනා. පහළ මට්ටමේ සේවකයාගේ සිට ජපාන රජය දක්වා සාමුහික ක්‍රියාදාමයක කටයතු කිරීම මේ සදහා ඉවහල් වුනා.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙය කඩිනමින් අවසන් කරනතුරු බලා සිටිනවා.

ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනය අවුරුදු 35 ක කාලයක් තිස්සේ අපේ රටට උදව් කරනවා. විශේෂයෙන් ණය ආධාර ලබාදීමේදී ජපාන රජය අපිට විශාල ලෙස උදව් කරනවා. ඒක අපි අවිවාදයෙන් පිළිගන්නවා. මා මීගමුව නගරාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ මීගමුව වෙළදපොල ඇතුලු මීගමුව සංවර්ධන කටයුතු සදහා විශාල ලෙස අපිට උදව් කරලා තියෙනවා. ජපානය හා ශ්‍රී ලංකාව අතර ඉතා හොද මිත්‍රත්වයක් ගොඩ නැගිලා තියෙනවා. එය අපේ රටේ සංවර්ධන කටයුතු සදහා වඩාත් ඉවහල් වනවා.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 2014 වසරේදී නව කැළණි පාලම් ව්‍යාපෘතියට මූලික සැලසුම් සකස් කොට ගිවිසුම් අත්සන් තබන ලද්දේ එවකට ජනාධිපති ධූරය දැරූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙනි.

මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පැරණි කැලණි පාළමට යාබදව මංතීරු 06 කින් යුත් නව පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැළණි පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වේ. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් මෙම මාර්ගය නිර්මාණය වේ. කැළණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබයි. පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් වැය වන අතර දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය වේ.

මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා, ජයිකා ආයතනයේ මෙරට නිත්‍ය නියෝජිත යමාඩා ටෙක්ෂුවා, මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, ක්‍රියාකාරී අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ ජනරාල්, ව්‍යපෘති අධ්‍යක්ෂිකාව ඇතුළු නිලධාරින් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය