ශ්‍රී ලංකා ක්‍රිකට් අතිරේක සංචිතයටත් කොවිඩ් අවදානමක් : ක්‍රීඩකයෙකුට කොරෝනා

ඉන්දීය සංචාරය සඳහා අතිරේකව සුදානම් කර තිබු ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව කොළඹ පුහුණුවීම් සඳහා ජෛව ආරක්ෂක බුබුලකට යටත්ව සුදානම් කර සිටි ජේෂ්ඨ ක්‍රීඩකයින් ගෙන් සැදුම්ලත් සංචිතයේ ක්‍රීඩකයෙකු මෙලෙස කොවිඩ් ආසාදිතව ඇති බවයි හෙළිවී ඇත්තේ.

කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති ක්‍රීඩකයා සඳුන් වීරක්කොඩි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නවාතැන් ගෙන සිටි මෙම ජේෂ්ඨ ක්‍රීඩකයින් 15 දෙනා ගෙන් යුත් අතිරේක කණ්ඩායම පුහුණු තරගයක් සඳහා දඹුල්ල ප්‍රදේශය බලා ඊයේ රාත්‍රියේ පිටත් කර තිබෙනවා. ඒ ඉන්දීය සංචාරයට පෙර පුහුණුවක් ලෙසයි.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නවාතැන් ගෙන සිටි භානුක රාජපක්ෂ, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් මේ වන විට නිරෝධායනය සඳහා යොමු කොට තිබෙනවා.

මේ අතර තවත් 24 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයක් දඹුල්ල ප්‍රදේශයේ පුහුණුවීම්වල යෙදෙන අතර ඔවුන්ට වෛරසයේ බලපෑමක් එල්ලවී නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් එංගලන්ත සංචාරයට සහභාගිවී පැමිණි කණ්ඩායමේ සියලු දෙනා මේ වන විට නිරෝධායනය සඳහා යොමු කොට ඇති බැවින් එළඹෙන ඉන්දීය තරගාවලිය සඳහා අතිරේක පුහුණු සංචිතයක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගන්නා ලදියි.