මුතුරාජවෙල රක්ෂිතය වැනසීම එරෙහිව කාදිනල් හිමිපාණෝ ඉදරිපත් කළ පෙත්සම විභාගයට දින නියම වෙයි…
මුතුරාජවෙල රක්ෂිත අභය භූමි කලාපය තුළ සිදුකෙරෙන වැලි ගොඩදැමීම, ඉඩම් කට්ටි කිරීම,නවසර ඉදිකිරීම් මෙන්ම නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමට දින නියම කර තිබේ.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් කැඳවනු ලැබීය.
ඒ අනුව පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 26 වන දා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.
මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, වත්තල හා ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් නම්කර තිබේ.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ එම රක්ෂිත කලාපයේ සිදුවන නීතිවිරෝධී ඉදිකිරීම්, වැලි ගොඩදැමීම් ,ඉඩම් කට්ටි කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියා නිසා එහි ජෛව පරිසර පද්ධතියට දැඩි හානියක් සිදු වී ඇති බවයි.
එබැවින් එවැනි නීතිවිරෝධී ක්‍රියා වැළකීමට පියවර ගැනීම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන්, මුතුරාජවෙල සංරක්ෂිත කලාපය යළි මිණුම් ගත කර ඒ සඳහා නව මායිම් සකස් කරන ලෙස වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.