පන්දු යවන්නන් යෙද වූ ආකාරය ගැන ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් ශ්‍රී ලංකාව තරගාවලිය පරදියි

ඉන්දීය පසු පෙල පිතිකරුවන්ගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(20) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගයෙන් ඉන්දියාව තියුණු සටනකින් අනතුරුව කඩුලු 3ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමටයි තිරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 275ක් ලබා ගනිමින්.

පළමු කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා මිනෝද් භානුක අතර ලකුණු 77ක සබදතාවයක් ගොඩ නැගුණු අතර, මිනෝද් ලකුණු 36කට දැවී ගියා.

අවිශ්ක ලකුණු 50ක් රැස් කර සිටියදී අනවශ්‍ය පහරක් එල්ල කරමින් දැවී ගිය අතර, ධනංජය ද සිල්වා ලකුණු 32යි.

මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළ චරිත් අසලංක ලකුණු 65ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

ඉනිමට සාර්ථක අවසානයක් ලබා දුන් චාමික කරුණාරත්න පන්දු 33කින් නොදැවී ලකුණු 44ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් හා යුස්වේන්ද්‍ර චහෙල් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.1ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සූර්යකුමාර් යාදෙව් ලකුණු 53ක් රැස් කළ අතර, මනීෂ් පාන්ඩේ ලකුණු 37කට දැවී ගියා.

ඉන්දීය ඉනිමේ කඩුලු 7ක් ලකුණු 193 දී බිද වැටුණු අතර, අනතුරුව දීපක් චහාර් හා බුවනේෂ්වර් කුමාර් 8 වන කඩුල්ල සදහා පන්දු 84කින් ලකුණු 84ක නොබිදුණු සබදතාවයක් ගොඩ නැගුවේ ඉන්දියාවට පෙරළිකාර ජයක් ලබා දෙමින්.

දීපක් චහාර් නොදැවී ලකුණු 69යි. කෘනල් පාන්ඩ්යා ලකුණු 35ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 37කට කඩුලු 3ක් බිද හෙලුවා.

ලක්ෂාන් සදකැන් විසින් සූර්යකුමාර් යාදෙව්ගේ කඩුල්ල දවා ගත්ත ද ඔහු යොමු කළ පන්දුවාර 10 තුළ ප්‍රතිවාදීන් ලකුණු 71ක් රැස් කළා.

තරගය පුරාවටම ඔහුගේ පන්දු පාලනය දුර්වල මට්ටමක පැවතුණ ද දිගින් දිගටම ලක්ෂාන් සදකැන්ට පන්දු යැවීමට අවස්ථාව ලබා දීම ක්‍රීඩා විචාරකයින්ගේ ද අප්‍රසාදයට ලක් වූ සිදුවීමක් වුණා.

කසුන් රාජිත ද පන්දුවාර 7.1ක් තුළ ලකුණු 53ක් ප්‍රතිවාදීන්ට ලබා දී එක් කඩුල්ලක් දවා ගත්තා.

නායක දසුන් ශානක පන්දුවාර 3ක් යොමු කර ලකුණු 10ක් පමණක් ලබා දුන් අතර, ධනංජය ද සිල්වා ද පන්දුවාර 3කදී ලබා දුන්නේ ලකුණු 10ක් පමණයි.

චාමික කරුණාරත්න යොමු කළ පන්දුවාර 6 තුළ දී ද ප්‍රතිවාදීන් රැස් කළේ ලකුණු 26ක් පමණයි.

එවැනි පසුබිමක් යටතේ ඔවුන්ට තවදුරටත් පන්දු යැවීමට අවස්ථාව ලබා නොදී ලක්ෂාන් සදකැන්ට දිගින් දිගටම පන්දු යැවීමට ලබා දුන්නේ කුමන හේතුවක් මතදැයි ක්‍රීඩා විචාරකයින් ප්‍රශ්න කරනවා.

මේ අතර, තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් හා නායක දසුන් ශානක අතර යම් උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ ආකාරය ද දැක ගත හැක වුණා.