රිෂාඩ්ගේ නිවසේ සිටි දැරිය ගැන විමර්ශන අරඹා කොළඹින්-ඩයගමට පොලිස් කණ්ඩායම්
බෞද්ධාලෝක මාවතේ පිහිටි හිටපු ඇමැති රිෂාඩ් බදියුදින්ගේ නිවසේදී ගිනි ගැනීමකට ලක්ව මියගිය බව කියන බාල වයස්කාර දැරිය පදිංචිව සිටි හැටන් ඩයගම ප්‍රදේශයේදී ඇය අපයෝජනයට ලක් කළා යැයි සැකකරන පුද්ගලයන් සොයා කොළඹින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් ඊයේ (20 වැනිදා) පිටත්ව ගොස් ඇත.
කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යංශය හා කොට්ඨාස අපරාධ ඒකකය මෙම විමර්ශනය සඳහා ඩයගම ප්‍රදේශය බලා පිටව ගොස් විමර්ශන අරඹා ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.
මෙම දැරිය කාලයක පටන් දූෂණයට ලක්ව ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වීම හේතුවෙන් පසුගිය කාලසීමාවේ ඇය ඇසුරු කළ පුද්ගලයන් සොයා නුවරඑළිය ප්‍රදේශයේ විමර්ශන අරඹා තිබිණි.
දැරියගේ මරණය සිදුවූ බෞද්ධලෝක මාවතේ නිවසේ දහනව හැවිරිදි මෙහෙකරුවකු මීට මාසයකට පෙර මෙම දැරියට පහරදී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත. රුපියල් පන්දහසක නෝට්ටුවක් දැරියගේ කාමරේ තිබී හමුවූ සිද්ධියක් ගැන බහින්බස්වී මෙම පහරදීම සිදුකර ඇති බව අනාවරණය වූයේය.
එම මෙහෙකරුගේ පහරදීමෙන් පසු තැති ගැනීමට ලක්වූ දැරිය දුරකථන ඇමතුමක් දී තමාට හිරිහැර වන බවට මවට දැනුම් දී ඇතැයි පැවසේ.
මෙම මෙහෙකරුගෙන්ද බොරැල්ල පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබේ.
දැරිය සියදිවි නසා ගැනීමට ගිනි තබා ගත් බව කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් කළ මොහොතේ තමන් සමග ප්‍රකාශ කළ බව වෛද්‍යවරයා රෝහලේ ඇඳ ඉහපතේ සටහන් කර ඇත.
මෙය සියදිවි නසා ගැනීමක් බවට රජයේ රස පරීක්ෂකවරයකු මූලික විමර්ශනවලදී පවසා තිබිණි.
කෙසේ වෙතත් දැරිය ගිනි තබා ගත්තාද? නැතිනම් ඇයට ගිනි තැබුවාද යන්න එහිදී සොයාගත් ලයිටරය ඔස්සේ විමර්ශන අරඹා ඇත.
වසර එකහාමාරකට පෙර කෘමීන්ට යෙදීමට නිවසට ගෙන ආ බව කියන භූමිතෙල් බෝතලයක් ඇඟට දමාගෙන ලයිටරයෙන් ගිනි අවුළාගත් බවට මූලික විමර්ශනවලදී තහවුරු වී තිබිණි.
මීට අමතරව පොලිස් නිලධාරියකුගෙන් හා රියැදුරුවරයකුගෙන් බොරැල්ල පොලිසිය ඊයේ (20 වැනිදා) ප්‍රකාශ ලබාගෙන ඇත.
මෙම දැරිය හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට රුපියල් විසිදහක වැටුපකට ගෙන්වාගෙන ඇත්තේ ඇමැතිවරයාගේ බිරිඳගේ පියා විසින් බවද අනාවරණය වී ඇත.
දැරිය නිවසේ මෙහෙකාර සේවයට රැගෙන එද්දී රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා අත්අඩංගුවේ පසුව ඇති බවත්, පසුව ඇප ලබා පැමිණ හිටපු ඇමැතිවරයා නිවසේ සිට ඇති බවත් හෙළිව තිබේ.
මෙම සිද්ධියට විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා හැටන් ඩයගම වතු කිහිපයක වෘත්තීය සමිති හා වතු කම්කරුවන් ඩයගම නගරයේ උද්ඝෝෂණයක් ඊයේ (20 වැනිදා) පවත්වා ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරිය මරණයට පත්වීම සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි දෙමළ ප්රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු බස්නාහිර පළාත භාර ජ්ය්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හමුවී ඊයේ (20 වැනිදා) ඉල්ලීමක් කර ඇත.
දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකුමාර්, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මෙම හමුවට එක්ව ඇත.
විවිධ පැතිකඩ ඔස්සේ පොලිස් කණ්ඩායම් යොදවා විමර්ශන කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
කඩිනමින් මෙම දැරියගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉටු කරන්නැයි මන්ත්‍රීවරුන් මෙහිදී ඉල්ලා ඇත.
-තිස්ස රවීන්ද්‍ර පෙරේරා/ සිතාර ඉරාෂ් -වටවල