’රසායනික පොහොර තහනමත් රිවර්ස්’ අගෝස්තු 01 වනදා සිට ආනයනය කිරීමට යයි
ආනයනය කිරීම තහනම් කර තිබූ රසායනික පොහොර සමහරක් යළිත් අගෝස්තු 01 වනදා සිට ආනයනය කිරීමට අවස්ථාව ලබාදී තිබේ.
ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම බැංකු ප්‍රධානීන වෙත ඊයේ දින ලිපියක් ද යොමු කර ඇත.
කිසිලෙසකින්වත් රසායනික පොහොර භාවිතයට යළි ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව පසුගිය දිනවල ප්රත්යක්ෂ කර පැවසූ අතර (ජාත්‍යන්තර ප්‍රජාවටද පැවසුවේ කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීරණ ඔවුනොවුන්ගේ රටවල් තුළද ක්‍රියාත්මක වනු දැකීමට කැමති බවය) ඊට එරෙහිව ගොවි බිම් වලින් විරෝධය නැගුණේ එකවරම මෙවැනි තීන්දුවක් ගැනීමෙන් සිය වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වන බව පවසමිනි.
ඒවා ගොවියාගේ වචනවලට පමණක් සීමා නොවෙමින් සිදුව තිබෙන වගා හානිය මෙන්ම ගොවියන් වැටී තිබුණ අවාසනාවන්ත තත්ත්වය සියැසින් දැක ගැනීමටද රටේ ජනතාව හැකි විණි.
එවන් පසුබිමක තවදුරටත් මේ තහනම රැක ගැනීමට ආණ්ඩුවට අපොහොසත් වීම ගැන අපේ පුදුමයක් නැත.
කෙසේවෙතත් මෙහිදී සඳහන් කළ යුත්තේ මේ රසායනික පොහොර තහනම රිවර්ස් වන බව මුලින්ම හෙළිදරව් කළේ ලංකා නිවුස් වෙබ් අපි විසිනි.
ප්‍රවෘත්තිය පළවූ මොහොතේ සිට එය පට්ටපල් බොරුවක් බවට රජයේ පාර්ශවයෙන් ප්‍රචාරය කෙරුණු අතර ප්‍රවෘත්තිය ඉවත් කරගැනීම දක්වාම එම බලපෑම තීව්ර විය. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශයක කිංස්ලි රත්නායක මහතා මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කළේ රසායනික පොහොර තහනම් ඉවත් කරන බවට පළවන පුවත අසත්‍ය බව පවසමිනි.
ඒ මඟම යමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එයම පවසනු අපි දුටුවෙමු.
ආණ්ඩු හිතවත් සමාජ මාධ්‍ය පිටු හරහාද අපගේ පුවත අසත්‍ය බවට පවසමින් දින කිහිපයක් අඩව්වක් අල්ලනු ද දුටුවෙමු.
දැන් බොරු කළේ අපිද නැත්නම් අපගේ ප්‍රවෘත්තිය දැක කුලප්පු වූ අයද යන්න වඩා හොඳින් ඔවුන් විසින්ම පෙන්වා දී තිබේ. එහෙයින් අපි නැවතත් සහතික වන්නේ අපි ආවාට ගියාට ප්රවෘත්ති පළකරන්නන් නොවන බවයි.
කෙසේ හෝ තවදුරටත් ගොවියාත්,ගොවි බිමත්, අනාගත ආහාර සුරක්ෂිත බවත් අනතුරට නොහෙළා පය පසුපසට තැබීමට ආණ්ඩුව ගත් තීන්දුව නිවැරදිය.
ආණ්ඩුවක් තම තමන්ගේ අඩුපාඩු රටේ මිනිසුන් පිට පැටවීම නොව කළ යුත්තේ මෙවැනි කාරණා වලදී දිගුකාලින නිසි සැලැස්මකින් යුතුව ඒවාට එළඹීමය.