ස්විස් රජය කොවිඩ් රෝහල් සහායට හමුදාව යොදා ගනියි
රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසය සමග රෝහල් සහ දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර ඇති රෝගීන් කළමනාකරණය කිරීම සඳහා ස්විට්සර්ලන්තය සිය හමුදාව යෙදවීමට යයි.
එරට රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම හෝ ප්‍රවාහනය කිරීම සඳහා රෝහල්වලට ආධාර කිරීම වෙනුවෙන් සොල්දාදුවන් 2,500ක් අනුයුක්ත කරන බවය.
“කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ලත් සමග රෝගීන් සංඛ්‍යාව තියුණු ලෙස ඉහළ යමින් පවතිනවා. මේ සමග රෝහල් ගතවීම් සහ දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන්ගේ සංඛ්‍යාවද වැඩි වෙනවා” ස්විට්සර්ලන්ත රජය පවසයි. “මේ තත්ත්වය තුළ රෝහල්වල රෝගීන් කළමනාකරණය කිරීම සඳහා හමුදාවේ සහාය ඉල්ලා තිබෙනවා.”
ගෙවීගිය දිනයේ ස්විට්සර්ලන්තය නව කොවිඩ්-19 ආසාදිතයන් 10,073ක්, රෝහල් ගත කිරීම් 247ක් සහ නව මරණ 73ක් ලියාපදිංචි කර තිබේ. වසංගතය ආරම්භ වූදා සිට ස්විට්සර්ලන්තය විසින් තහවුරු කරන ලද ආසාදිතයන් 192,376ක් සහ මරණ 2,275ක් වාර්තා වී ඇති බව රජයේ නවතම දත්ත පෙන්වා දෙයි.