ඇමැති සංශෝධනය අනිද්දා; ඩලස්, දිනේෂ්, කෙහෙළිය හා ජීඑල්ගේ විෂය පථයන්හි වෙනසක් ; පවිත්‍රාත් , ප්‍රසන්න රණතුංගත්… ?

කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූරයන් හතරක සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බවට වාර්තා වෙනවා

රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන ආකාරයට මෙම කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිතව ඇත්තේ ලබන අඟහරුවාදා යි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම කැබිනට් සංශෝධනයේ දී කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී. එල්. පීරිස් සහ දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ වගකීම් මාරුවනු ඇති.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය ධූරය දරන දිනේෂ් ගුණවර්ධනට අධ්‍යාපන අමාත්‍යාංශයත් දැනට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ඩලස් අලහප්පෙරුමට ජනමාධ්‍ය අමාත්‍යාංශයත් භාර කෙරෙන බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වශයෙන් හා අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ මහාචාර්ය ජී එල් පීරිස් විදේශ අමාත්‍ය වරයා වශයෙන් වැඩ භාර ගැනීමට නියමිත බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

පසුගිය කාලසීමාව තුළ දී ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා දැඩි විවේචනයන්ට ලක්වුණා.

පවතින කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපන ඇමතිවරයා අපොහොසත් වූ අතර වැටුප් වර්ධක ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග වලට යොමු වූ ගුරු ගැටලු විසඳීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශයට හැකි වූයේ නැහැ.

මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාට සහ අමාත්‍යංශයට එල්ල වූයේ දැඩි ජනතා විරෝධයක්.

එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස සිදුකළ ඇතැම් ආන්දෝලනාත්මක ප්‍රකාශ හරහා රජය දැඩි අපහසුතාවයට ලක් වූ බවයි රජයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම ඇමති සංශෝධනය අනිද්දා (17) දිනයේදී සිදු කෙරෙනු ඇතැයි ද වාර්තා වේ.
මීට පෙර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අමාත්‍යංශයත්, ප්‍රසන්න රණතුංග මහතාගේ අමාත්‍යංශයේත් වෙනස්කම් සිදුවනු ඇති බවට මාධ්‍ය වාර්තා පලව තිබිණි.