රුපියල යළි බරපතළ කඩා වැටීමක
ශ්‍රී ලංකා රුපියල නැවත වතාවක් බරපතළ කඩා වැටීමකට ලක් වෙමින් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි මිලදී ගැනීමේ සහ විකිණීමේ හුවමාරු අනුපාතය පිලිවෙලින් දැක්වුනේ රුපියල් 198.19 ලෙස හා 202.89ක් ලෙසටයි.
නමුත් එය මුදල් වෙළඳපොලේ රුපියල් 211.00 සිට 215.00 දක්වා අලෙවි වන බවයි වාර්තා වන්නේ.
මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සඳහා රුපියල් 202.89ක බර තැබීමක් සිදු කර තිබුණද බොහෝ පෞද්ගලික බැංකු මේ වන විට මෙම අනුපාතයන් අතහැර දමා තිබෙනවා.
අද දිනය වන විට දේශීය පෞද්ගලික බැංකු ආනයන කරුවන් සඳහා ඇමරිකානු ඩොලර් එකට රුපියල් 211.00ක විනිමය අනුපාතයක් රඳවාගත් අතර අතර විදේශීය බැංකු රඳවාගත් අනුපාතය රුපියල් 215.00 දක්වා ඉහළ දමා තිබුණා.
අද වන විට කොමර්ෂල් බැංකුව විදුලි පණිවුඩ මුදල් අණකර සඳහා අමෙරිකානු ඩොලරයකට රුපියල් 206.50ත් 211.00 අතර අනුපාතයක් රඳවා ගත් අතර හැටන් නැෂනල් බැංකුවේ එම අනුපාතය දැක්වුනේ රුපියල් 206.00ත් 211.00 අතරේයි.
මේ අතර සෙලාන් බැංකුව රුපියල් 204.00ත් 211.00 අතර අනුපාතයක් රඳවා ගත්තා.
කෙසේ වෙතත් ලංකා බැංකුව තවමත් ඔවුන්ගේ වෙබ් අඩවියේ මූල්‍ය අනුපාතය 198.50 සහ 203.00 අතර රඳවා ගෙන ඇත්තේ ගනුදෙනුකරුවන්ට කොන්දේසි පනවමින්.
රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට සහ බැංකු පොලී අනුපාත අඩු මට්ටමක තබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කරමින් සිටිනවා.
සති දෙකකට පෙර අසාර්ථක බැඳුම්කර වෙන්දේසියකින් උපයාගත් රුපියල් බිලියන 53 ක මුදල වෙළෙඳපොළට එන්නටත් පෙර වාශ්ප වී ගියේ ඉන් විශාල කොටසක් දේශීය ණය වාරික සඳහා කැපී යාම හේතුවෙන්.
මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරයට සාපේක්ෂව බර තබා ඇති රුපියල් 203.00 ක විනිමය අනුපාතය තවදුරටත් ප්‍රායෝගික නොවන බවටයි පසුගිය බදාදා ශ්‍රී ලංකා මහ බැංකුව සහ දේශීය බැංකු කරුවන් අතර පැවති සාකච්ඡාවකදීයි දේශීය බැංකු කරුවන් අනතුරු අඟවා ඇත්තේ.
මේ වන විට සම්පුර්ණයෙන්ම අන්තර් බැංකු ගනුදෙනු තහනම් කිරීම හා ඩොලරයේ වටිනාකම සඳහා විනිවිදභාවයක් නොමැති වීම හේතුවෙන් කේවල් කිරීමේ බලය පමනක්ම පදනම් කරගෙන අපනයන හා ආනයන කරුවන්ගෙන් විවිධ අනුපාතයන් අය කිරීමට බැංකු යොමු වී තිබෙනවා.
යුද්ධය අවසන් වීමෙන් පසු පවත්වාගත් මුදල් ප්‍රතිපත්තිය සහ භාණ්ඩාගාර වෙන්දේසි බිඳ වැටීම් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික ආගාධයක මුවවිට හමුවේ සිටින බවයි මූල්‍ය විචාරකයින් පවසන්නේ.