දෙදහසේ දීමනාව අඩු ආදායම්ලාභී පවුල්වලට පමණයි

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින්ට රුපියල් 2,000ක  දීමනාවක් ලබාදීමට අදාළ චක්‍රලේඛය ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අද නිකුත් කරනු ලැබුවා.

රජයේ කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම්ලාභී ජීවනෝපාය අහිමිවූ පවුල් මේ සඳහා සුදුසුකම් ලබා ඇති අතර, රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි, සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනා ලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබන බවයි එම කාර්ය සාධක බලකාය සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ප්‍රතිලාභ ගෙවීමට අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදී ඇති අතර, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සහ ග්‍රාමීය කමිටුවේ සහය ඇතිව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් දීමනාව ප්‍රතිලාභීන්ට ලබාදිය යුතු වනවා.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සම ලේකම්, ඇන්ටන් පෙරේරා විසින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයට අනුව දීමනාව අදාළ ප්‍රතිලාභියා විසින් ලබාගත් බවට සහතිකයක් ද ගත යුතු වනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ අදාළ දීමනාව ලබාදීම සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාමලේඛන මේ වනවිට සකස් කර අවසන් බවයි.

මේ අතර, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සඳහා රුපියල් 2000ක  දීමනාව ලබා දීමට රුපියල් මිලියන 467ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති බවයි.

ඒ සඳහා පුද්ගලයින් 250,000 ක් සුදුසුකම් ලබා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.