ජපන් අධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාව සඳහා උපකරණ පරිත්‍යාගයක්

“කොවැක්ස්” වැඩසටහන ඔස්සේ ජපන් ආධාර යටතේ මෙරටට සෞඛ්‍ය සේවාව සඳහා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමක් සිදු කෙරිණි.

මෙම උපකරණ තොගය යුනිසෙෆ් සංවිධානය සහ ජපන් තානාපති කාර්යාලයේ සහයෝගයෙන් සෞඛ්‍ය  අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට නිල වශයෙන් පරිත්‍යාග කර තිබේ.

එන්නත් ප්‍රවාහන මෙවලම් 750ක්, එන්නත් බහාලුම් ශීත පෙට්ටි 300ක්, ශීතදාම ආරක්ෂක ශීතකරණ 100ක්, සාර්ථක එන්නත් කළමනාකරණ ආවේක්ෂණය සඳහා භාවිතා කිරීමට ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ස් තොගයක් මෙම පරිත්‍යාගයට ඇතුලත් වේ.

ජපන් රජය මෙරට සෞඛ්‍ය  ක්ෂේත්‍රයට පසුගිය වසරේදී පමණක් ඩොලර් මිලියන 16.2 ක පමණ මුදලක් වැය කර තිබෙන අතර ඉදිරියේදීද මෙරට සෞඛ්‍ය සේවාව සඳහා ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙන බව ද ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා මහතා මෙහිදි ප්‍රකාශ කළේය.

මෙරට සෞඛ්‍ය සේවාව නගාසිටුවීම සඳහා දිගු කලක සිට ජපානය සහයෝගය ලබාදෙන බවද පවතින කොවිඩ් මර්දනයේදී එම සහයෝගය වඩාත් ඉහළ මට්ටමින් වර්තමානයේ ලබා දෙන බවද සුගියාමා අකිරා මහතා පැවසු අතර කොවිඩ් මර්දනයේදී ජපානය ගෙන යන වැඩපිළිවෙළ හා සම්බන්ධ දැනුම හා තොරතුරු මෙන්ම මෙරට කොවිඩ් මර්දන ක්‍රියාවලිය හා සම්බන්ධ දැනුම හා තොරතුරු හුවමාරු කර ගැනීම දෙරටටම ප්‍රායෝගිකව වැදගත් වනු ඇතැයිද ජපන් තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.