සීනි සහ සහල් සඳහා මිල පාලනයක්
සහල් හා සීනි සඳහා හෙට සිට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
මේ අතර සීනි ආනයනකරුවන් විසින් සඟවා තිබියදී අත්යවශ සේවා කොමසාරිස් භාරයට ගත් සීනි තොග සතොස සහ සමුපකාර අලෙවිසැල් හරහා වෙළඳපොලට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
වෙළඳපොල තුල කෘතිම සීනි හිගයක් මවා පාමින් මිල ඉහළ දැමීමටයි සීනි ආනයනකරුවන් කටයුතු කර තිබුණේ.
ඒ හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් සිදු කර අත්අඩංගුවට ගත් සීනි තොග අද නිල වශයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වෙත භාරදී තිබෙනවා.
මෙම අවස්ථාවට එක්වෙමින් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළේ නීති විරෝධී ආකාරයෙන් මෙලෙස පවත්වාගෙන යන අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ගබඩා සියල්ල වැටලීමට සහ එම භාණ්ඩ තොග රජයේ සහතික මිලට සතොස හා සමුපකාර අළෙවිසැල් හරහා පාරිභෝගිකයා වෙත ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සලසා ඇති බවයි.
මේ වන විට වෙළදපළේ සීනි හිගයක් ද පවතින අතර, ඒ හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 220 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එවන් පසුබිමකයි සීනි ගෙන්වන ලද ඇතැම් පුද්ගලයින් සහ සමාගම් සීනි තොග පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොකළ ස්ථානවල ගබඩා කිරීම සිදුකළේ.
ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය විසින් එවැනි සීනි සැගවූ ගබඩා 5ක් මේ වන විට වැටලීමට ලක් කළ අතර ඒවායේ තිබී සීනි මෙටි්රක් ටොන් 12,255ක් සොයා ගනු ලැබුවා.
එමෙන්ම, රජය විසින් පෙරේදා සිට සතොස හරහා දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 130ක මිලකට අලෙවි කිරීමට ද පියවර ගත්තේ පාරිභෝගිකයින් මුහුණ පා ඇති දුෂ්කරතාවන් සැලකිල්ලට ගනිමින්. මේ හේතුවෙන් අදත් සතොස අලෙවිහල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ සහල් සහ සීනි සදහා හෙට සිට උපරිම සිල්ලර මිලක් නියම කරන බවයි.
කෙසේ වෙතත් අද දිනයේදීත් සතොස වෙළදසැල්වලට සීනි මිලදී ගැනීම සදහා පැමිණ සිටි පාරිභෝගිකයින් චෝදනා කළේ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි සීනි නොමැති බවයි.