රැඳවියන් සමඟ සිටින ළමුන්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී  කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ අක්කර 200ක භූමි භාගයක ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයා බැලීමට සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාව සඳහා අරලියගහ මන්දිරයේ සිට එක්වෙමින් ඊයේ අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රක්ෂිත බන්ධනාගාරගත කරන්නන් වරදකරුවන් නොවන අය බැවින් රිමාන්ඩ් බන්ධනාගාරය හොරණට රැගෙන යන විට ඒ අය සම්බන්ධයෙන් පහසුකම් ස්ථාපිත කිරීම යෝග්‍ය බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී පෙන්වා දුන්නේය.

ඇතැම් කාන්තා රැඳවියන් සමඟ දරුවන් ද සිටින බැවින් එම දරුවන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව ගැන ද  විශේෂ අවධානයක් යොමුකරන්නැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව කාන්තා බන්ධනාගාරය මිල්ලෑවේ ස්ථාපිත කරන විට දරුවන් සිටින රැඳවියන් වෙන්කර දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ද සකස්කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අග්‍රාමාත්‍යතුමාට විශ්වාසය පළ කළේය.