හෙට ඇඳිරි නීතිය ඉවත් කළත් පොලිස් වසම් 24ක් හුදෙකලා තත්වයට : හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

හෙට (09) උදෑසන බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම පනවා තිබුණු නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන නමුත් එම ප්‍රදේශ තුළ පවතින පොලිස් වසම් ගණනාවක් හුදෙකලා තත්වයට පත් කෙරෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

“බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය හෙට ඉවත් කරනු ලබනවා. බස්නාහිර පළාතේ පමණක් නොවෙයි අපි වෙනත් ප්‍රදේශ කිහිපයකත් නිරෝධායන ඇඳිරි නීතිය යොදවා තිබෙනවා. ඉතාම කෙටියෙන් කිව්වොත් ඒවාත් ඉවත් කෙරෙනවා, නමුත් වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. හෙට ඇඳිරි නීතිය ඉවත් කළාට ප්‍රදේශ කිහිපයක් තිබෙනවා හුදෙකලාවකට ලක් කිරීමට කටයුතු කරන.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන සම්පූර්ණ පොලිස් වසම් සංඛ්‍යාවෙන් මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ පොලිසිය, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසෙල්වත්ත කියන ප්‍රදේශ අපි හුදෙකලාවකට ලක් කරනු ලබනවා.

ඒත් එක්කම ගම්පහ ගත්තොත් වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුගම, ජා ඇල සහ සපුගස්කන්ද ප්‍රදේශ මේ ආකාරයෙන් හුදෙකලාවට ලක් කරනවා.

ඊට අමතරව බස්නාහිර පළාතේ අනෙක් දිස්ත්‍රික්කය වන කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ ඉංගිරිය කියන පොලිස් වසම් දෙකත් එම ප්‍රදේශයේම පිහිටි වෑකඩ බටහිර කියන ග්‍රාමනිලධාරී කොට්ඨාශයත් හුදෙකලා කරනවා.

ඊළඟට කුරුණෑගල නගර සීමාව සහ කුලියාපිටිය පොලිස් වසම පමණක් හුදෙකලාවට ලක් කරනවා. කෑගල්ලේ මාවනැල්ල සහ රුවන්වැල්ල කියන ප්‍රදේශ දෙක හුදෙකලා කරනු ලබනවා. ඒ ප්‍රදේශවලට ඇතුළුවීම හෝ පිටවීම තහනම්” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එසේම කොළඹ ආශ්‍රිත මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, රන්මුතු සෙවණ, මුවදොර උයන, සිරිසර උයන සහ එන්. එච්. එස්. යන නිවාස සංකීර්ණ හුදෙකලා තත්වයෙන් පවත්වාගෙන යන බව ද  හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (08) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් හා සම්බන්ධ වෙමිනි.