ආරක්ෂක හේතු මත පකිස්ථාන නවසීලන්ත එක්දින තරගාවලිය අත්හැර දැමේ

පාකිස්ථානය සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරක්ෂක හේතූන් මත සහමුලින්ම අතහැර දැමීමට නවසීලින්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

දෙරට අතර පළමු තරගය අද, පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබු අතර, සංචාරක නවසීලන්ත කණ්ඩායම ආරක්ෂක හේතූන් මත ක්‍රීඩාංගණයට පිවිසීම ප්‍රතික්ෂේප කළා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අදාළ තරගාවලියට එක්දින තරග තුනක් ඇතුළත්ව තිබු අතර මෙය ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට එක් නොකිරීමටත් විශේෂත්වයක්.

එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව නවසීලන්ත කණ්ඩායමට විස්සයි විස්ස ක්‍රිකට් තරග පහකට ක්‍රීඩා කිරීමටයි සූදානමින් සිටියේ.

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ තරග සංචාරයක නිරත වෙමින් තරගාවලියක් ආරම්භ කිරීමට සූදානම් වූයේ වසර 18කට පසුව වීම විශේෂත්වයක්.

2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව කිසිදු රටක් එරටට තරග සංචාරයක නිතර වූයේ නැහැ.

කෙසේ වෙතත්, 2019 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ ආරක්ෂාවක් යටතේ පාකිස්ථානයේ තරග සංචාරයකට එක්වුණා.

නවසීලන්ත රජය විසින් පකිස්ථානයේ සංචාරයට එක්ව සිටින තම ක්‍රිකට් කණ්ඩායමට මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇති අතර කඩිනමින් කණ්ඩායම යළි මව්රට ගෙන්වා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බවයි ඔවුන් ප්‍රකාශකර ඇත්තේ.

මෙම තීරණය පිළිබඳ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ද ප්‍රකාශයක් කර තිබෙනවා.

ඔවුන් පෙන්වාදී ඇත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් පිළිබඳ නවසීලන්තය විසින් තමන්ට දැනුම්දුන් බවයි.

එම කරුණු හේතුවෙන් තරගාවලිය අත්හැර දැමීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බවයි පකිස්ථානය සඳහන් කර ඇත්තේ.