ලෝක වෙළඳපොලේ තෙල් මිල තවත් ඉහළ යන ලකුණු
ගෝලීය ස්වභාවික වායු මිල ඉහළ යාම මෙන්ම යුරෝපයේ එළඹෙන දැඩි ශීත ඍතුව හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80 දක්වා තවත් ඩොලර් 5කින් පමණ ඉහළ යනු ඇතැයි වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.
ඇමරිකානු ගෝල්ඩ්මන් සාච් ආයෝජන සේවාව පෙන්වා දෙන පරිදි ඉල්ලුම ඉහළ යාමට සාපේක්ෂව ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් මේ වන විට සිදු වන්නේ නැහැ.
විශේෂයෙන් ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ඛණිජතෙල් සඳහා වන ඉල්ලුම තවදුරටත් ඉහළ යනු ඇති. ශීත ඍතුව අපේක්ෂිත අන්දමින් දැඩි වුවහොත් තෙල් සඳහා වන දෛනික ඉල්ලුම බැරල් නව ලක්ෂය ඉක්මවනු ඇති බවයි රොයිටර් සඳහන් කළේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 74 ඉක්මවා ඇති අතර ශීත ඍතුවෙන් පසුව එළඹෙන මාස 6 තුල තෙල් බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යා හැකි බවයි බෑන්ක් ඔෆ් ඇමරිකා ගෝලීය පර්යේෂණ ආයතනය ප්‍රකාශ කළේ.