ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ ඩිජිටල් ගමන් බලපත්‍රය ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා අත්හදා බැලේ

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ “ට්‍රැවල් පාස්” යෙදුම අත්හදා බැලීම ලබන 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවයද එක්වනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සිය ගුවන් සේවය ආසියාවේ පාරිභෝගික කේන්ද්‍රීය ගුවන් සේවාවක් බවට පත්වීමේ මූලාරම්භයක් මෙමඟින් සනිටුහන් වන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“අයටා” සංචාර ගමන් බලපත්‍රයේ වැඩිදියුණු කළ ඩිජිටල් සේවාව මගින් පාරිභෝගිකයින්ට පහසුවක් සැලසෙන අතර, ගුවන් මගීන්ට ඔවුන්ගේ ඡායාරූපය සහ තොරතුරු ඇතුළත් කර ඩිජිටල් හැඳුනුම්පතක්ද සාදාගත හැකියි.

එමඟින් ගුවන් මගීන්ට අදාළ රටවල කොරෝනා පරීක්ෂණ තොරතුරු හා රසායනාගාර සේවා හඳුනාගත හැකි අතර, ඩිජිටල් හැඳුනුම්පත හරහා ඒ සඳහා ලියාපදිංචි වීමටද හැකි වනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ සඳහන් කළේ මෙවැනි කාලෝචිත නවෝත්පාදන මගින් ගුවන් මගීන්ට බාධාවකින් තොර සංචාරක අත්දැකීමක් හිමිකර දෙන බවයි.