ලෝක ජලභීතිකා දිනය අදයි

ලෝක ජල භීතිකා දිනය අදට යෙදී තිබෙනවා.

දැනුම බෙදමු – බිය දුරලමු යන්න මෙවර එහි තේමාව යි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පසුගිය වසරවලට සාපේක්ෂ ව කාන්තාවන් වැඩි වශයෙන් ජලභීතිකා රෝගයෙන් මරණයට පත්වීම ඉහළ ගොස් ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජලභීතිකා හා එන්නත් තත්ත්ව පාලන අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර ප්‍රකාශ කළා.

පුරුෂයන් 5කට කාන්තා මරණ එකක් ව පැවති ජලභීතිකා මරණ අනුපාතය මේ වනවිට සම මට්ටමට පැමිණ තිබෙනවා.

එමෙන්ම  මේ වසරේ මේ දක්වා ජලභීතිකා රෝගයෙන් සිදු වූ මරණවල අඩුවීමක් ද දක්නට ලැබෙන බවයි විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර ප්‍රකාශ කළේ.

2018 වසරේ මරණ 25ක්, 2019 වසරේ මරණ 26ක් සහ 2020 වසරේ මරණ 31ක් සිදු ව තිබෙනවා.

කෙසේ වෙතත් මේ වසරේ ඊයේ දිනය දක්වා සිදු ව ඇත්තේ ජලභීතිකා මරණ 17ක් පමණයි.

අදට යෙදී ඇති ලෝක ජලභීතිකා දිනය පිළිබද ව ජනතාව දැනුවත් කිරීම සදහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය, පංශු වෛද්‍ය සේවාවේ අධ්‍යක්ෂ එල්.ඩී. කිත්සිරි දරුවන් ජලභීතිකා රෝගයට ගොදුරුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ සුනඛ පැටවුන් මඟින් කුඩා දරුවන්ට ජලභීතිකා රෝගය වැළඳෙන අවස්ථා වාර්තා වී ඇති බවයි.

සුනඛ පැටවුන් නිවෙස් වෙත රැගෙන යාමට පෙර එන්නත්කරණයට ලක් කර රැගෙන යාමෙන් දරුවන් ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කරගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය, පංශු වෛද්‍ය සේවාවේ අධ්‍යක්ෂ එල්.ඩී. කිත්සිරි එහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.