මහා පරිමාණ වී මෝල් හිමියන්ගෙන් නව සහල් මිලක්

රජය විසින් සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමත් සමඟ මහා පරිමාණ වී මෝල් හිමියන් මින් ඉදිරියට වෙළදපළේ සහල් අලෙවි කරන මිල ගණන් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක්  රුපියල් 115කටත්, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 140කටත්, කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 165කටත් අලෙවි කරනු බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මීට පෙර රජය විසින් කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 95කටත්, නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 98කටත්, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 103කටත් සහ කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 125ක  උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තීරණය කළ අතර සහල් මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමටයි තීරණය කරනු ලැබුවේ.

අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ එම තීරණවලින් අනතුරුව මහා පරිමාණ වී මෝල් හිමියන්  පොළොන්නරුවේදී අද මාධ්‍ය හමුවක් කැදවමින් අද නව සහල් මිල ගණන් ප්‍රකාශයට පත් කළා.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන කියා සිටියේ ඉදිරියේදී ගොවීන්ගෙන් නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 62යි ශත 50කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 70කටත්, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 80කටත් මිලදී ගන්නා බවයි.

කෙසේ වෙතත්, සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය ද අද පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

ඊට එක්වෙමින් එම සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම කියා සිටියේ සහල් සඳහා කඩිනමින් උපරිම සිල්ලර මිලක් යළි පැනවීමට කටයුතු නොකළහොත් සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.

සහල් ආනයනය කිරීමට ගත් තීරණය අත්හිටුවන ලෙස මාධ්‍ය හමුවට එක්වෙමින් ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් මුදිත් පෙරේරා සඳහන් කළා.

කෙසේ වෙතත්, අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් පාරිභෝගික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ ප්‍රධාන පෙළේ මෝල් හිමියන් ප්‍රකාශයට පත් කළ මිල ගණන් සාධාරණ නොමැති බවයි.