අද සිට විදෙස් සංචාරකයන්ට අලුත් මාර්ගෝපදේශ සංග්‍රහයක්
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා. මෙම මාර්ගෝපදේශ අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්මයාමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයන්ට ගුවන් තොටුපලේදී PCR පරීක්ෂණයට භාජනය නොවී රටට ඇතුළුවීමේ අවස්ථාව හිමි වේ. කෙසේ නමුත් ඔවුන් ගුවන්ගතවීමට පැය 72 කට පෙර සිදුකළ PCR පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවන බව තහවුරු කළ යුතුය. විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ටද මෙම මාර්ගෝපදේශ අදාල වේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.
පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ විදේශිකයන්ට මෙරටට පැමිණීමෙන් පසු ජෛව ආරක්ෂක බුබුළ තුළ කටයුතු කිරීමට සිදු වේ. ඔවුන් හෝටලයට පැමිණීමෙන් පසුව සිදුකරන PCR පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු කර ගැනීමෙන් පසුව ආරක්ෂක බුබුළ තුළ සිටිමින් සංචාරක කටයුතු සිදු කළ හැකිය.
පූර්ණ එන්නත්කරණයට ලක් නොවී මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපලේදී හෝ නිරෝධායනය වන හෝටලයේදී PCR පරීක්ෂණ සඳහා පෙනී සිටිය යුතුය. එහිදී ආසාදිතයෙකු නොවන බව තහවුරු වන්නේ නම් ඔවුන්ට නිවෙස් කරා යාමේ හැකියාව තිබේ. මෙරටට පැමිණ 12 වන දිනයේදී සිදු කරන PCR පරීක්ෂණයෙන්ද ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් ඔවුන්ට සමාජගත වීමේ අවස්ථාව හිමි වේ.
නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා ලද හෝටලයක දී දින 14ක් නිරෝධායනය වී ඔවුන්ට සමාජගත විය හැකිය.