දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පියවර

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල
ප්‍රකාශ කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (29) පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් දුම්වැටි භාවිතය ද අවම කිරීමට හැකිවනු ඇති අතර මෙම බදු ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත මේ වන විට සකස් කර ඇති බවයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ලොව අනෙකුත් රටවල ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තීන් පිළිබඳව ද අධ්‍යයනය කරමින් නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමට ද පියවර ගැනෙනු ඇති.

ඒ අනුව දුම්වැටි සිල්ලරට අලෙවිය, පොදු ස්ථානවල දුම් පානය, ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් අදාළ පනත සංශෝධනය ඔස්සේ දැඩි නීති රීති ගෙන ඒමට අපේක්ෂා කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

මේ අතර දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳව සිදු කළ මහජන මත විමසීමේ සමීක්ෂණ වාර්තාව එම අධිකාරිය මගින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට මෙහිදී  භාරදී තිබෙනවා.

මේ අතර දුම්වැටි ඇසුරුම් තුළ යොදා ඇති රූපමය අවවාද යාවත්කාලීන කිරීම කෙරෙහිද සාකච්ඡා වූ බව සඳහන්.

දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා වන පුළුල් ප්‍රචාරණයක් ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා අදාළ වැඩපිළිවෙල සකස් කරන ලෙසත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.